රනිල්-මෛත්‍රී අවජාතක දීගය රටත් කාලා,පක්ෂයත් කැවා

පහුගිය අවුරුදු එකහමාරක කාලය දිහා බලපුහාම මේ දීගයෙන් රටටවත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයටවත් සෙතක් වුනේ නෑති බව ඒකාබද්ද විපක්‍ෂයේ කැඳවුම්කරු ප්‍රසන්න රණතුංග පවසයි.වර්තමාන දේශපාලන තත්වය පිලිබදව අදහස් දැක්වීම සදහා පසුගිය (28) උඩුගම්පල රෙජී රණතුංග ශ්‍රවනාගාරයේදී පැවති මාධ්‍ය හමුවකදී රණතුංග මහතා සදහන් කලේ නැගෙනහිර මහ ඇමතිවරයාට එරෙහිව දැඩි පියවර ගෙන රණවිරුවන්ගේ ආත්ම ගෞරවය රැක දීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවයි.

යහපාලන ආණ්ඩුව ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙළමින් රණවිරුවන් හෑල්ලුවට ලක්කරමින් සිටින බව ඒකාබද්ධ විපක්‍ෂයේ කැදවුම්කරු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා අවධාරනය කරයි. ඔහු පෙන්වා දෙන්නේ නැගෙනහිර මහ ඇමතිවරයා සාම්පූර් නාවික හමුදා ප්‍රධානියාට තර්ජනය කිරීමේ සිද්ධිය ඒකාබද්ධ විපක්‍ෂය දැඩි ලෙස හෙලා දකින බවයි. නැගෙනහිර මහ ඇමතිවරයාට එරෙහිව දැඩි පියවර ගෙන රණවිරුවන්ගේ ආත්ම ගෞරවය රැක දීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවද රණතුංග මහතා පෙන්වා දෙයි.

“පහුගිය ජනවාරි 8 වෙනිදා මේ ආණ්ඩුව බලයට පත්වුණු දා ඉදලම මේ රට මුදා ගත්තු රණවිරුවන්ට කලේ කෙණිහිලිකම් රණවිරුවන්ව හිරේ දාලා කොටින්ව නිදහස් කරන ආණ්ඩුවක් මේක එදා විපක්‍ෂ නායකවරයා බලහත්කාරයෙන් හමුදා කදවුරකට ඇතුලත් වුනහම ආණ්ඩුව ඒකට විරුද්ධව කිසිම පියවරක් ගත්තෙ නෑ. ඒ නිසා තමයි නැගෙනහිර මහ ඇමතිවරයට හයියක් ලැබෙන්නේ දෙනෝ දාහක් මැද්දේ සාම්පූර් නාවික හමුදා ප්‍රධානියට තර්ජනය කරන්න. ඒකාබද්ධ විපක්‍ෂයේ අපි මේ තර්ජනය දැඩි ලෙස හෙලා දකිනවා. නැගෙනහිර මහ ඇමතිවරයට එරෙහිව ආණ්ඩුව වහා පියවර ගත යුතුයි.”

“අද මේ ආණ්ඩුව ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙලලා රණවිරුවන් හෑල්ලුවට ලක් කරලා තිස් වසරක සාපලත් යුද්ධයකින් පස්සේ රට ලැබූ ජයග්‍රහන මේ ආණ්ඩුව ආපස්සට හරවමින් තිබෙනවා. මේ ඉටු කෙරෙමින් තිබෙන්නේ බටහිර රටවල්වල සහ දෙමළ ඩයස් පෝරාවේ කොන්ත්‍රාත්තුවක්. බටහිර රටවල්වලට අවශ්‍ය විදියටයි අද මේ ආණ්ඩුව කටයුතු කරමින් සිටින්නේ. හමුදාවේ කොදු නාරටිය බිදලා ඔවුන්ව හෑල්ලුවට ලක් කරලා ඇති කර ගන්න සංහිදියාවකින් රටට වැඩක් නෑ. සංහිදියාව කිය කියා රටේ ජාතික ආරක්‍ෂාව හෑල්ලුඅවට ලක් කරනවනම් රට මුදාගත්ත රණවිරුවන් පාවා දෙනවානම් එවැනි සංහිදියාවක් රටට වැඩක් නෑ.”

“උතුරු සහ නැගෙනහිර මහ ඇමතිවරුන් පොලිස් සහ ඉඩම් බල තල ඉල්ලමින් ලොකු අරගලයක් කරනවා. හිටපු මහ ඇමතිවරයෙක් විදියට මම හැමදාමත් හිටියේ පොලිස් සහ ඉඩම් බලතල මධ්‍යම ආණ්ඩුව සතු විය යුතුයි යන ස්ථාවරයේයි. පොලිස් බලතල නැතුව නැගෙනහිර මහ ඇමති මෙහෙම හැසිරෙනවනම් ලැබුනොත් කොහොම තියෙයිද. අද රජයට සම්බන්ධ සමහර වෙබ් අඩවිවල තිබුණු මානූෂීය මෙහෙයුමේ වීඩියෝ දර්ශන මකල දාලා. මානුෂීය මෙහෙයුමේ වීඩියෝ දර්ශන මකලා ඇති කර ගන්න යන සංහිදියාව මොකක්දැයි රටේ ජනතාව වටහා ගත යුතුයි. විජග්‍රහණයේ සැමරුම කලොත් සංහිදියාව නැතිවෙයි කියන යහපාලන ආණ්ඩුව ප්‍රභාකරන්ගේ මස්සිනාට ජන සංහාර සතියක් සමරන්න ඉඩ දුන්නා. ආණ්ඩුවේ සංහිදියාව යහපාලනේ රෙද්ද පල්ලෙන් බේරෙන්න පටන් අරං.”

“යුරෝපා රටවල් වල කොටි ත්‍රස්තවාදීන් නැවතත් වැඩ පටන් අරන් තියන්නේ. ප්‍රභාකරන්ගේ රූපේ ගහගෙන ඒ අය ආධාර එකතු රකනවා. අද අපේ රටේ හැදිලා තියෙන්නේ කොටින්ට අවශ්‍ය පරිසරයක්. ඔවුන්ට වාසි සහගත පරිසරයක්. ආණ්ඩුව සම්පූර්ණයෙන්ම ඊට වගකිව යුතුයි.”

“පහුගිය සති කීපයතුල මේ රට මහා දුර්භික්ෂයකට මුහුණ දුන්නා. ආපදාවෙන් ජනතාව පීඩාවට පත් වෙද්දී ආණ්ඩුව කලේ ඒකත් රාජපක්‍ෂ රෙජීමයට බැර කිරීම විතරයි. ආපදා තත්වයට පත්ව පීඩාවට පත්වූවන්ට සහන සැලසීමේ කටයුතු ආණ්ඩුව කලේ අසන්විධානාත්මකවයි. මහ ජනතාව සහ මාධ්‍ය ආයතන නොයින්න මේ ජනතාවට වහ කන්නයි වෙන්නේ. ජනතාව පීඩාවට පත් වෙච්ච අයට දුන්නු බත් පැකට් එකටත් තමන්ගෙ රූපෙල දාගෙන බෙදපු යහ පාල ඇමතිවරු ගැන අපට දැනගන්න ලැබුණා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ජනතාව ගෙනත් දීපු භාණ්ඩ තමන්ගෙ වගේ බෙදපු ඇමතිවරු ගැන රටේ ජනතාව දන්නවා. මේ ආණ්ඩුවට කිසිම සැලසුමක් නැති බව ආපදා තත්වය නිසා රටට නැවත හෙලි උනා.”

“මේ ආණ්ඩුවට නිසි ආර්ථික කළමණාකරනයක් නෑ. ඊයේ පෙරේදා මේ අය වාහන බදු වැඩි කලා. මේ වාහන බදු වැඩි කිරීමත් එක්ක අපේ රටේ වාහන ව්‍යාපාර උඩු යටිකුරු උනා. ඉන්දියාවේ ඕනකමට චීනය තරහ කරගත්තු ආණ්ඩුව ඊට පස්සේ ආපහු ආධාර ඉල්ලලා චීනයේ දෙපතුල ලඟ වැටුනා. රාජපක්‍ෂලාට බැන බැන හිටියට ආණ්ඩුවට කුණු කාණුවක් වත් සුද්ද කරගන්න බෑ.”

“මහලොකුවට මාධ්‍ය නිදහස ගැන කථා කරපු මේ ආණ්ඩුව වක්‍රව මාධ්‍ය මර්ධනයක් ආරම්භ කරලා. අගමැතිවරයා මුලින්ම මාධ්‍යවේදීන්ට තර්ජනය කලේ තුම්මුල්ලේ පද්මේ වගේ. ලේක් හවුස් එකේ ධනුෂ්ක ගොඩකුඹුර, චමීර ඇල්ලදෙනිය, මහින්ද අ`ඵත්ගෙදර යන මාධ්‍ය වේදීන් තිදෙනා ජනාධිපති කොමිසමට කාඳවා තිබෙනවා. මහින්ද මහත්තයාගේ රැස්වීම් ආවරණය කරපු ඒවා පිළිබඳව තොරතුරු ගන්නයි ඔවුන්ට එන්න කියලා තියන්නේ. යහපාලන ආණ්ඩුව වක්‍රව සිදු කරන මේ මාධ්‍ය මර්ධනය අපි දැඩි ලෙස හෙලා දකිනවා.”

මෙහිදි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ සහ ඊට රණතුංග මහතා ලබා දුන් පිළිතුරු මෙසේයි.

ප්‍රශ්ණය : ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ එක්සත් ජාතික පක්‍ෂය අතර ඇති දීගය යාදෙයිද?

පිළිතුර : මේ දීඟය පැවතුනොත් විතරයි ආණ්ඩුව පවතින්නේ. ඒ නිසා ආණ්ඩුවේ ප්‍රධානීන් මේ දීඟය පවත්වාගෙන යාම සඳහා කරන්න පු`ඵවන් හැම දෙයක්ම කරයි. ඔය කිව්වට බස් එකෙන් වෙලාවට බහිනවයි කියලා බහින්න බස් එක නවත්වන එකක් නෑ. කරන්න ඕන දේ තමයි ආණ්ඩුවේ බලය අපි ලබා ගන්න එක. පහුගිය අවුරුදු එකහමාරක කාලය දිහා බලපුහාම මේ දීගයෙන් රටටවත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයටවත් සෙතක් වුනේ නෑ.

ප්‍රශ්ණය : අපේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍සය දෙකඩ කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව ශ්‍රී. ල. නි. ප. යේ මහ ලේකම්වරයා පසුගියදා සඳහන් කලා. අපේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ලෙස සඳහන් රැස්වීමක ඔබ ඉන්නවා අපි දැක්කා. මොකද්ද මේ.

පිළිතුර : අපේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කියන්නේ. ඇත්ත ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්ගේ එකමුතුවක්. අපි මේ ආණ්ඩුවට විරුද්ද ඇත්ත ශ්‍රී ලංකා කාරයන් බලමු`ඵ ගැන්වීමයි මේකෙන් කරන්නේ. මේක ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එරෙහිව සිදු කෙරෙන දෙයක් නෙවෙයි. ආණ්ඩුවට එරෙහි අරගලයකට නායකත්වය දීමක්. අපි මේ පක්‍ෂයට ආදරෙයි. හැබැයි පක්‍ෂය පාක්‍ෂිකයාගේ හඬට කන්දිය යුතුයි.

ප්‍රදීප් අනුරකුමාර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment