දේශපාලඥයින්ට චෝදනාවක් - රජයේ නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර 

දේශපාලඥයින්ට චෝදනාවක් - රජයේ නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර 

යයම් ප්‍රදේශයක ඇළ රක්ෂිත සහ ගංඟා රක්ෂිතයන්ට හානි වන අයුරින් අනවසර ඉදිකිරීම් හෝ පරිසර හානි සිදු වුවහොත් එම ප්‍රදේශවල සිටින වගකිව යුතු රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ ජූනි 05 වනදාට යෙදෙන ලෝක පරිසර දිනයට සමගාමීව ක‍්‍රියාත්මක කෙරෙන ජාතික පරිසර සතිය ප‍්‍රකාශයට පත් කිරිමේ උත්සවයට ඊයේ (30) පොළොන්නරුව සේවාමුක්ත කදවුර මහා විද්‍යාලයේ දී පැවති උත්සවයට එක්වෙමිනි.

තම වගකීම නිසි ලෙස ඉටු කරන රාජ්‍ය නිලධාරින් ආරක්ෂා කිරීමට රජය නිරන්තරයෙන් කැපවී සිටිනවා සේම තම රාජකාරිය නිසි ලෙස ඉටු නොකරන නිලධාරින්ට එරෙහිව පියවර ගැනීමට ද රජය පසුබට නොවන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

අයහපත් කාලගුණයත් සමඟ පසුගියදා සිදුවූ ගංවතුර, නායයාම් වැනි තත්වයන් හමුවේ මුහුණදීමට සිදුවූ අමිහිරි තත්ත්වයන් පිළිබඳ අප සාප කළයුත්තේ වර්ෂාවට නොව පරිසරය විනාශ කළ උදවියට බව ද හෙතෙම මෙහිදී කියා සිටියේය.

කැලණි ගං රක්ෂිතයේ අනවසර ඉදිකිරීම් සිදු කිරීම මෙන්ම ජල මාර්ගවල ගොඩනැගිලි ඉදි කිරීම හේතුවෙන් එම ප‍්‍රදේශවල ජනතාවට දින ගණනක් පුරා ගං වතුර තත්ත්වයන්ගෙන් පීඩාවිදීමට සිදුවූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා ඊට වගකිව යුත්තේ ඒවාට ඉඩදුන් දේශපාලඥයින් මෙන්ම රාජ්‍ය නිලධාරින් බව ද කියා සිටියේය.

අපේ රට ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීම සහ ජෛව විවිධත්වයේ ගුණාත්මක භාවය පිළිබඳ කීර්තිමත් ඉතිහාසයක් ඇති රටක් වුවත් පසුගිය දශක කිහිපය තුළ දේශපාලඥයින්ගේ අත්තනෝමතික කි‍්‍රයාකාරකම් හේතුවෙන් සිදුවූ පරිසර විනාශය අතිමහත් බව ද ජනාධිපතිවරයා පැවසී ය.

දිනෙන් දින ඉහළ යන පරිසර හානිය හේතුවෙන් අද දවසේ මෙන්ම හෙට දවසේ ද මුළු ලෝකයටම මුහුණදීමට සිදුවන ඛේදවාචකයන් පිළිබඳ අප අවබෝධයෙන් කටයුතු කළයුතු බව පැවසූ ජනාධිපතිවරයා පරිසරය ආරක්ෂා කර ගනිමින් සංවර්ධන කටයුතු සිදුකිරීම ද සියලූදෙනාගේ වගකීමක් බව කියා සිටියේය.

ජාතික පරිසර සතියේ කි‍්‍රයාකාරකම්වලට දායකවීම පරිසර අමාත්‍යාංශයට පමණක් සීමා වූ වගකීමක් නොවන බව සඳහන් කළ ජනාධිපතිවරයා රාජ්‍ය අංශයේ සියලූ ආයතන මෙන්ම පෞද්ගලික අංශය, පාසල් දරුවන් සහ සාමාන්‍ය පොදු ජනතාව ද ඊට සකි‍්‍රයව දායකවීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.

ඊයේ (30) සිට ජුනි මස 05 වනදා දක්වා වූ සතිය ජාතික පරිසර සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ හා සමගාමීව ද්වීපව්‍යාප්තව පරිසර වැඩසටහන් රැසක් ද සංවිධානය කර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment