ඛනිජ තෙල් ලොක්කන් දෙදෙනෙකු ටෙන්ඩර් මගඩියක! - ඇමති චන්දිම හරස්වෙයි

ඛනිජ තෙල් ලොක්කන් දෙදෙනෙකු ටෙන්ඩර් මගඩියක! - ඇමති චන්දිම හරස්වෙයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ටෙන්ඩර් කැදවීමකින් තොරව ඉන්දීය සමාගමකට ලබා දී ඉතා බාල තත්ත්වයේ අලුත්වැඩියාවක් කිරීමට ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉහළ පෙලේ නිලධාරීන් තිදෙනෙකු සූදානම් වී ඇතැයි වාර්තා වේ. 

වසර හතළිහකට වඩා පැරණි සපුගස්කන්ද තෙල් පිරිපහදුව නව රජය පත්වීමත් සමග ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුලව නවීකරණය කිරීමට අවධානය යොමුකර තිබිණි. නමුත් ඛනිජ තෙල් සංස්ථාවේ මුල්‍ය කළමනාකරු දාබරේ සහ වාණිජ කළමනාකරු ගුණවර්ධන ඇතුළු පිරිසක් විසින් ඉන්දීය සමාගමකට ඉතා බාල තත්වයේ අලුත්වැඩියාවක් කිරීමට ලබාදීමට සුදානම්ව සිටින බව ඛනිජ තෙල් සංස්ථාවේ ආරංචි මාර්ග අනාවරණ කළේය.

වර්තමානය වනවිට අලුත්වැඩියාවට වැයවන වියදමින් තෙල් පිරිපහදු අංගනය නවීකරණය කර පිරිපහදු ධාරිතාව දැනට වඩා 50%ක් වැඩිකිරීමට හැකියාවක් තිබියදී ඊට ඉඩනොදී ඩොලර් මිලියන 2ක් වැයකර පින්තාරු කිරීමට බලකිරීම විහිළුවට කාරණයක් බව ඛනිජ තෙල් සංස්ථා සේවකයින් පවසති. 

බොහෝ කාර්මික ශිල්පින් පවසන්නේ අදාල මුදලින් සමස්ත අංගනයම අලුත්වැඩියා කර හැකි බවයි.

2013 වසරේදී මෙම සමාගම විසින් නිසි ටෙන්ඩර් ක්‍රමයකින් තොරව අධ්‍යනයක්ද සිදුකර ඇති අතර මෙම අධ්‍යනය වෙනුවෙන් අලුත්වැඩියාවේදී විශේෂ වාසි ලබා ගැනීමට මෙම නිලධාරීන් දෙදෙනා සැලසුම් කොට ඇතැයි ද වාර්තා වේ. 

2013 වසරේ සිට පිරිපහදුවේ ටින්කරින් කොන්ත්‍රාත්තුව සිදු කරනු ලබන හයිද්‍රාබාද් UOP සමාගමට වසර 40 ක් පැරණි මෙම පිරිපහදු අංගනය මෙලෙසම පවත්වාගෙන යන්නේ ඔවුන්ට වඩාත් වාසිසහගත නිසාවෙන් බවත් ඔවුන් වෙනත් රටවල පිරිපහදු නවීකරනයේදී සිදුවූ බව කියන පිපිරීම්වල වීඩියෝ දර්ශන ප්‍රදර්ශනය කරමින් සංස්ථාවේ ඉහල නිලධාරීන් බිය ගන්වන බවත් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙලෙස බිය ගන්වා ඔවුන් සැලසුම් කරන්නේ ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන්ට මෙම අලුත්වැඩියාව සිදුකර නොකර විශාල මුදලක් ලබා ගැනීමට බව අනාවරණ වී ඇත. 

කෙසේ වෙතත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කළේ ඛනිජ තෙල් පිරිපහදුවේ ඒකක 2ක් අබලන් තත්ත්වයට පත් ව ඇතැයි ඛනිජ තෙල් සංස්ථාවේ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීමට වාර්තාවක් ඉදිරිපත් වූ බවත් ඒ අනුව එය නවීකරණය කිරීමේදී පිපිරීමක් සිදුවීමට ඉඩ ඇති බැවින් යම් කොටස් කිහිපයක් ප්‍රතිසංස්කරණය කිරීමට මූලික කටයුතු සිදු කිරීමට අවශ්‍ය බව එහි දක්වා තිබූ බවත්ය.   

මේ තත්වය මත විවෘත ටෙන්ඩර් පටිපාටියක් අනුව අදාල නවීකරණය කටයුතු සිදුකිරීමට අදාලව කැබිනට් පත්‍රිකාවක් ඉදිරි අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා කටයුතු කරනු ඇතැයි වාර්තා වේ.

වාර්ෂිකව ඩොලර් මිලියන 300 කට අධික මුදලක් රටට ඉතිරිකරගත හැකි වන්නේ පිරිපහදුව විද්‍යානුකුලව නවීන තාක්ෂණයට අනුව ජාත්‍යන්තර ප්‍රමිතියෙන් අලුත්වැඩියා කර පුළුල් කිරීමෙන් පමණි. 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment