'මාධ්‍ය ආයතනත් මාධ්‍ය නිදහස රැකිය යුතුයි' - ජනපති

'මාධ්‍ය ආයතනත් මාධ්‍ය නිදහස රැකිය යුතුයි' - ජනපති

නිදහස් මාධ්‍යයට ඉඩදීම සඳහා රජය, දේශපාලනඥයින් හා රාජ්‍ය නිලධාරීන් වගකීමෙන් බැඳී සිටින බවත් එලෙසම නිදහස් මාධ්‍ය සුරක්ෂිත කරමින් තම වගකීම් හා යුතුකම් අවංකව ඉටු කිරීමට රාජ්‍ය හා රාජ්‍ය නොවන මාධ්‍ය ආයතන ඇතුළු මාධ්‍ය ක්ෂේත්‍රයේ සියලූම දෙනා බැඳී සිටිය යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (28) කොළඹ ජයික් හිල්ටන් හෝටලයේහි 'ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ පනත හා මාධ්‍ය ප්‍රතිසංස්කරණ' යන මැයෙන් පැවැති ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක උත්සවය අමතමිනි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ මේ වනවිට රට තුළ තොරතුරු දැනගැනීමේ පනත සම්මතවී ඇති බැවින් පුරවැසියන්ට හිමිවන ප්‍රජාතන්ත්‍රවාදී බලය තහවුරු කිරීමට රජය, රාජ්‍ය නිලධාරීන්, මාධ්‍ය හා සියලූ පාර්ශව ප්‍රමුඛත්වය දෙමින් කටයුතු කළ යුතු බවත් පුරවැසියන්ගේ අයිතිය තහවුරු කිරීමට සියලූ පාර්ශව එක්විය යුතු බවත්ය.

ඒ  සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියාසිටියේ," තොරතුරු දැනගැනීම සෑම පුරවැසියකුගේම අයිතියක්. සෑම පුරවැසියකුගේ මානව අයිතිවාසිකමක්. සිවිල් සංවිධාන, දේශපාලන සංවිධාන ඇතුළු බොහෝ පාර්ශව මෙවැනි පනතක අවශ්‍යතාව පිළිබඳ හඬ නැගුවත් පැවැති ආණ්ඩුවලට එය ඉටු කිරීමට නොහැකි වුණා. එම අසමත්වීම්, අතපසුවීම් නොසලකා හරිමින් අපේ ආණ්ඩුවට තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරගැනීමට හැකියාව ලැබුණා. තොරතුරු දැනගැනීමේ පනත සම්මත වීම දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීමේ අතුරු ප්‍රතිඵලයක් ලෙස පෙන්වා දිය හැකියි." යනුවෙනි.

සමුළුවේ සමාරම්භක උත්සවය ඇමතූ කතානායක කරු ජයසූරිය මහතා කියාසිටියේ ජනාධිපතිවරයා මහජන වරමක් ඉල්ලා සිටි අවස්ථාවේදී ජනතාවට තොරතුරු දැනගැනීමේ පනත හිමිකර දෙන බවට පොරොන්දු වූ බවත් ඒ ආකාරයෙන්ම ජනවරම ලැබීමෙන් පසු පනත සම්මත කිරීමට රජයට හැකිවූ බවත්ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ කතානායකවරයා කියාසිටියේ," එහෙත් කනගාටුවට කරුණක් තිඛෙනවා. අපි මුලින්ම මේ පනත ගෙනාවේ 2001 වසරේදී. එවකට එවැනි පනතක් ගෙනාපු පළමු දකුණු ආසියා  රට අපියි. එහෙත් අපි මේ පනත සම්මත කළේ තොරතුරු දැනගැනීමේ පනත සම්මත කළ අවසන් දකුණු ආසියා  රට ලෙසයි. ඉන්දියාව ඇතුළු ලොව බොහෝ රටවල තොරතුරු දැනගැනීමේ පනතක අවශ්‍යතාව මතු කරන ලද්දේ ජනතාවයි. එහෙත් අපේ රටේ මේ පනත පාර්ලිමේන්තුවට ගෙන එන්න මූලිකව බල කළේ විපක්ෂයයි. කෙසේ නමුත් අද අපට සතුටු විය හැකි තත්ත්වයක් උදා වෙලා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මූලිකත්වයෙන් මේ පනත සම්මත කිරීමට හැකියාව ලැබීම ගැන අපිට සතුටු විය හැකියි." ලෙසයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment