අන්තවාදීන් විනාශ කළ වාකනේරි විහාරය මසක් ඇතුළත ඉදිකළ යුතුයි - හෙළ උරුමය කියයි

අන්තවාදීන් විනාශ කළ වාකනේරි විහාරය මසක් ඇතුළත ඉදිකළ යුතුයි - හෙළ උරුමය කියයි

උතුරු හා නැගෙනහිර පමණක් නොව රටේ කිසිම තැනක කවරෙකුටවත් නීතිය අතට ගෙන කටයුතු කිරීමට ඉඩ නොතැබිය යුතු බවත් පසුගිය දිනවල මඩකලපුවේ වාකනේරි ප්‍රදේශයේ අන්තවාදී කණ්ඩායමක් විසින් විනාශ කළ විහාරස්ථානය ඉදිකිරීමට කටයුතු කළ යුතු බවත් ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක හා මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසයි.

මසක් ඇතුලත එසේ සිදුකිරීමට ආණ්ඩුකාරවරයා හා ජාතික සංහිඳියා අමාත්‍යවරයා කටයුතු නොකළහොත් මහා සංඝරත්නය ඇතුළු ජාතික මාමක පිරිස් එහි ගොස් එම විහාරස්ථානය ප්‍රතිශ්ඨාපනය කිරීමට සූදානම් බවත් ඔහු අවධාරණය කළේය.

පොලිස් වෙඩි තැබීමකින් යාපනය සරසවියේ සිසුන් දෙදෙනකු මියයාම හා යාපනයේ ආරක්ෂක තත්ත්වය සම්න්ධයෙන් අදහස් දැක්වීම සඳහා ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. 

එහිදී අදහස් දැක්වූ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා මෙසේද පැවසී ය.

“අදවන විට අපේ හමුදාව සහ පොලිසිය පිළිබඳව උතුරු නැගෙනහිර දෙමළ ජනතාව තුල වැරදි ආකල්පයක් ප්‍රචලිත කරවන්න අන්තවාදී දෙමළ දේශපාලඥයින් ක්‍රියාකරලා තියෙනවා. අපේ හමුදාව සහ පොලිසිය, පිටස්තර හමුදාවක් හා පිටස්තර පොලිසියක් ලෙස  එහෙමත් නැත්නම් සිංහල පොලිසිය හා සිංහල හමුදාව ලෙස දකින තැනට  ඒ ප්‍රදේශයවල සාමාන්‍ය ජනතාව සහ තරුණ ප්‍රජාව පත්කරන්නට ඔවුන් අද කටයුතු කරලා තියෙනවා. ඒ නිසා තමයි ඒ පළාත් වල හෙල්මට් නැතිව යතුරු පැදි ධාවනය කරන්නට, අණනොතකා රිය ධාවනය කරන්නට ඒ පළාත් වල ජනතාව කටයුතු කරන්නේ. ඒ වගේම පොලිසිය හමුදාව ගණන් නොගන්නා තැනකට ඔවුන් පත්වෙලා තියෙන්නේ. මේපසුපස ඇත්තේ ගෝත්‍රවාදී, ප්‍රාදේශීයවාදී හා බෙදුම්වාදී ආකල්ප බව අප පැහැදිලිව ප්‍රකාශ කළ යුතුයි. මේ අවාසනාවන්ත මරණ වලට ඔවුන් වගකිව යුතුයි.“

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment