මන්ත්‍රී සුමන්තිරන් ඝාතන තැතක් - හිටපු කොටි 4ක් අත්අඩංගුවට

මන්ත්‍රී සුමන්තිරන් ඝාතන තැතක් - හිටපු කොටි 4ක් අත්අඩංගුවට

දෙමළ ජාතික සන්ධාන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා ඝාතන සැලැස්මක නිරත වූ බව කියන පුනරුත්තාපනය වූ කොටි සාමාජිකයින් සිව්දෙනෙකු පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචිමාර්ග සදහන් කරයි.

විදේශගතව සිටින කොටි ක්‍රියාකාරීන්ගේ අවශ්‍යතාවක් මත මෙම සැලැස්ම ක්‍රියාත්මක කර ඇති අතර බෝම්බ ප්‍රහාරයකින් මෙම ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බව බුද්ධි අංශ විසින් අනාවරණය කර ගනු ලැබ තිබේ.

මේ පිළිබද රජය හා ආරක්ෂක අංශ විසින් සුමන්තිරන් මහතාට ද දැනුම් දී ඇති අතර ඔහුගේ ආරක්ෂාවද තර කිරීමට රජය පියවර ගෙන තිබේ. 

තවද ආරක්ෂාක හේතූන් මත පසුගිය ජනවාරි 13 වැනිදා යාපනයේ පැවැති උත්සවයකට හා රැස්වීම් කිහිපයකටද සුමන්තිරන් මහතා සහභාගී නොවුණු අතර ඔහු සහභාගී වන රැස්වීම් හා උත්සවද අඩු කරගෙන ඇත.

හිටපු කොටි කේරළ ගංජා ජාවාරමේ

මේ අතර සුමන්තිරන් මන්ත්‍රීවරයා ඝාතනය කිරීමට සැලසුම් කළ හිටපු කොටි සැකකරුවන් සිව්දෙනා යාපනය සහ තමිල්නාඩුව අතර මහා පරිමාණයෙන් කේරළ ගංජා ජාවාරම්ද සිදුකර ඇතැයි ත්‍රස්‌ත විමර්ශන අංශය මගින් කරන ලද පරීක්‌ෂණවලදී අනාවරණය කරගෙන ඇතැයි වාර්තා වේ.

මේ හේතුව නිසා මෙම සිව්දෙනා පිළිබඳ තොරතුරු ඉන්දීය පොලිස්‌ අපරාධ පොතේද සටහන් වී තිබේ.

සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ දේශපාලන ප්‍රතිපත්ති හා ඔහු මෙම ගංජා ජාවාරමට එරෙහිව ක්‍රියා කිරීම නිසා බිම් බෝම්බයක්‌ පුපුරුවා ඔහු ඝාතනය කිරීමට සැකකරුවන් විසින් සැලසුම් කර ඇත.

ඒ සඳහා භාවිත කිරීමට බිම් බෝම්බ සහ පුපුරන ද්‍රව්‍ය කොටි සංවිධානය පරාජය වීමට පෙර ත්‍රස්‌ත ක්‍රියා සඳහා යොදාගත් ඒවා බවද අනාවරණය වී තිබේ.

සංහිඳියාවට කටයුතු කරන නිසා තර්ජන  

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා සඳහන් කළේ එල්ල වී ඇති ජීවිත තර්ජන හේතුවෙන් තමන්ට අමතර ආරක්‍ෂාවක් ලබාදී ඇති බවයි.

තමන්ට ජීවිත තර්ජන සිදුවන බවට ආරක්‍ෂක අංශ අනාවරණය කරගෙන ඇති බැවින් අමතර ආරක්‍ෂාවක් සපයා දී ඇති බවත් ජාතීන් අතර සංහිඳියාව ඇති කරලීමට කටයුතු කරමින් සිටින බැවින් තමන්ට මෙසේ තර්ජන එල්ල වී ඇති බවත් සුමන්තිරන් මහතා පැවසීය.

ඉන්දීය මාධ්‍ය විසින්ද සුමන්තිරන් මන්ත්‍රිවරයාට ජීවිත තර්ජන සිදුවීමක් සම්බන්ධයෙන් පසුගියදා කරුණු අනාවරණය කොට තිබිණි.

සුමන්තිරන් මහතා නව ව්‍යවස්ථාව සකස් කිරීමේ ව්‍යවස්ථාදායක කමිටුවේ සාමාජිකයකු ලෙසද කටයුතු කරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment