මහින්දගෙන් අද තීරණාත්මක ප්‍රකාශයක්!

මහින්දගෙන් අද තීරණාත්මක ප්‍රකාශයක්!
 

‘ජාතික සමගිය වනසන-බෙදුම්වාදය දිනවන රනිල්ගේ ව්‍යවස්ථා මරඋගුලට එරෙහිව සටන් වදිමු!’ යන පුළුල් තේමාව යටතේ අද (22) සවස 3:00ට තම පක්‍ෂයේ විශේෂ මහා සමුළුව අතිසාර්ථකව පැවැත්වීමට සියලු කටයුතු සූදානම්කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, මොහොමඞ් මුසම්මිල් මහතා පවසයි. 

මෙම සමුළුව පක්‍ෂ සාමාජිකයන්ට පමණක් නොව ඉහත තේමාවට එකඟ සියලු ශ්‍රී ලාංකිකයන්ට විවෘත එකක් බවත් ඊට විශේෂ ආරාධිතයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගී වී තීරණාත්මක ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවත් ඒ මහතා සඳහන් කළේය. 

ඊයේ (21) පිටකෝට්ටේ පිහිටි ජානිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ අදහස් දැක්වීය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය. 

“යහපාලනය ගැන බොරු දෙසා බාමින් තමන්ගේ බටහිර හාම්පුතුන්ගේ සහ ඉන්දියාවේ උවමනාවන් ඉටු කරනවා විනා මේ ආණ්ඩුව, රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් වසර 02ක් තිස්සේ කළ කිසිම දෙයක් නැහැ. මේ යමපාලකයන්ගේ වසර 02ක ශේෂ පත්‍රය දිහා බලන්න. රට බෙදන ව්‍යවස්ථාවක් ගෙන ඒම, ජුනි මාසයේදී ඉන්දියානුවන්ට මේ රටේ රැකියා වෙළඳපොළ විවෘත කරන එට්කා ගිවිසුම අත්සන් තැබීම, හම්බන්තොට වරාය, ත්‍රිකුණාමල වරාය හා කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය චිනයට, ඉන්දියාවට හා ඇමෙරිකාවට විකිණීම හා අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළු ජනතා සුබසාධන කප්පාදු කිරීම ආදිය ඒ අතර වෙනවා. ආර්ථික වර්ධන වේගය 7%ක තිබුණු රටක් මේ ආණ්ඩුව වසර 02කදී ඇද දමාපු තැන බලන්න. 2016 අගභාගය වන විට රටේ ආර්ථික වර්ධන වේගය 3.42%ක් වෙලා.“ 

“මේ ශේෂ පත්‍රයට එරෙහිව සියලු වාමවාදී ජාතිකවාදී බලවේග අද එකතු වෙමින් සිටිනවා. 2015 පෙබරවාරි 18 ඇරඹුණු ‘මහින්ද සුළඟ' අද මේ යහපාලන ආණ්ඩුවට එරෙහිව ‘මහා මේඝයක්’ වී හමනවා. ඒ නිසා ‘2017 බල පෙරළියක් සිදුවේය’ කියන අනාරක්‍ෂිත මනස මේ ආණ්ඩුවට ඇති වෙලා තිබෙනවා. සරලව කියනවානම් මේ ආණ්ඩුව හොඳටම බයවෙලා. ඒ නිසයි, 2017 බල පෙරළියට ජවය දෙන්න ජානිපෙ සංවිධානය කරන විශේෂ මහා සමුළුව කඩාකප්පල් කරන්න හැදුවේ. අපේ පක්‍ෂ නායකයා විමල් වීරවංශ මහතා හිරේ  දාන්න වසර දෙකක් තිස්සේ මේ අය විමර්ශන කළා. නමුත් වංචා, දුෂණ, අල්ලස් චෝදනා ගොනු කරන්න බැරි වුණා. අන්තිමේදි ‘වාහන අවභාවිතය’ නොවෙයි ඊට අනුබලදීම කියා අභූත චෝදනා නගලා හිරගත කළා. නමුත් නායකයා හිර කරලා අපේ ගමන නවත්වන්න බැහැ. අපි හෙට (22) අතිසාර්ථකව අපේ විශේෂ මහා සමුළුව පවත්වනවා. මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පෙරටුකරගත් ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් ඊට සහභාගී වෙනවා.“ යැයිද හෙතෙම පෙන්වා දුන්නේය.

“මේ ආණ්ඩුව නිවැරදි දැක්මක පිහිටා කටයුතු කරන ජනිපෙට බයයි. ඒකාබද්ධ විපක්‍ෂයට බයයි. ඒ විතරක් නොවෙයි වෘත්තිකයන්ට, මාධ්‍යවේදීන්ට, ශිෂ්‍යයන්ට, කම්කරුවන්ට බයයි. ඒ නිසා ඔවුන් අද මේ සියලු දෙනාට විරුද්ධව මර්දනය දියත් කරනවා. මේ අය කොයිතරම් බය වෙලාද කියනවා නම් අද මාධ්‍යවේදීන්ගේ ‘ඩ්‍රෝන කැමරාවලටත්’ බයයි. මේ මෝඩ ආණ්ඩුව තම බටහිර හාම්පුතුන්ගේ, දෙමළ ඩයස්පේරාවේ හා කිසිදු ජනපදනමක්, සිවිල් බලයක් නැති එන්.ජී.ඕ ඩොලර් කාක්කන්ගේ උවමනාවට රටක් වටිනා භික්ෂූන් වහන්සේලා, රණවිරුවෝ හා දේශපාලන නායකයන් මේ වසර 02 පුරා හිරේ විලංගුවේ දැම්මා. භික්ෂූන්වහන්සේලාගේ ලේ සෙලවූවා. මේවාට නුදුරේදීම මේ රටේ සැබෑ ජන බලවේගවලින් පිළිතුරු ලැෙබ්වි" යැයි මොහොමඞ් මුසම්මිල් මහතා පැවසී ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment