ලසන්ත ඝාතනයට ඝෝඨා හසුවන ලෙස ෆොන්සේකාගෙන් තොරතුරු


ලසන්ත ඝාතනයට ඝෝඨා හසුවන ලෙස
ෆොන්සේකාගෙන් තොරතුරු

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතන පරීක්ෂණය හමුවේ පසුගිය සිකුරාදා (20 වැනිදා) පැය හයකට ආසන්න කාලයක්‌ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සාක්ෂි ලබාදී තිබෙන අතර සිද්ධිය සිදුවූ කාලයේ යුදහමුදාපති ධූරය හෙබවූ ෆොන්සේකා මහතා ඒ කාලයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙම ඝාතනයට නියෝග ලබාදීම ගැන
කිසියම් කරුණක් ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ලැබේ.
මෙම සාක්ෂි ලබාදීමෙන් පසු දින හුණුපිටියේ පැවතකි උත්සවයකට එක්වූ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඒ ගැන මෙසේ කියා ඇත.
‘මේ සිද්ධිය ගැන පරීක්ෂණ හරි මාර්ගයේ යන්නැති බව මා මින් පෙරත් කීවා.එහෙම කියන්න හේතුවුනේ මොනවාදැයි
පොලිසිය ඒ නිසා මගෙන් ඇසුවා.මං ඒ කාලෙ හමුදා නායකයා. මට ඒ වෙලාවෙ පැවරී තිබුනේ රට භීෂණයෙන් ත්‍රස්තවාදයෙන් මුදවා ගැනීමේ භාර ධූර කාර්යයන්. මට රටේ සිදුවන අපරාධ ගැන පරීක්ෂණ කරන්න වගකීමක් තිබුනෙ නෑ. මේ කටයුත්ත පිටුපස හිටපු බලවතුන් දෙදෙනකු සිටියා.ඒ දෙදෙනා මෙහෙයවපු කල්ලිය තමා මේක කරේ.විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පවා ඒ කල්ලියට අනුබල දුන්නා. ලසන්ත ගැන ඒ වෙලාවෙ වැඩිම විරසකයෙන් හිටියෙ කවුද කියල හැමෝම දන්නවා. මිග් ගනුදෙනුව ගැන ඔහු සියල්ල හෙළි කරන්න සූදානමින් හිටියේ. මනුෂ්‍ය ඝාතන කළ අය කවදාවත් පිළිගන් නෑනෙ ඒව කළ බවට.
ඇමති කෙනෙකු වුණත් මං ගිහින් දන්න දේ කිව්ව වගේ අදාළ අයත් මේ ගැන සාක්ෂි දෙන්න නොයා ඉන්න කිසිම අයිතියක් නැහැ.“
මෙම ඝාතන සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ළඟදීම ප්‍රශ්න කිරීමට නියමිතව ඇතැයිද පොලිස්‌ මූලස්‌ථාන ආරංචි වලින් අනාවරණය වේ.
 හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඇතුළු පසුගිය රජය සමයේ ආරක්‍ෂක ඒකාබද්ධ මෙහෙයුම් මූලස්‌ථානයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් කිහිපදෙනකුගෙන් ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට නියමිතව ඇත.
ලසන්ත ඝාතනය සඳහා පැමිණි යුද හමුදා බුද්ධි අංශ කණ්‌ඩායම ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ වැදගත් තොරතුරු රැසක්‌ ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට අනාවරණය කරගෙන ඇති අතර දැනටමත් එක් බුද්ධි අංශ නිලධාරියකු අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටී.
ලසන්ත ඝාතනය කළේ තමන් යයි කියමින් කෑගල්ල ප්‍රදේශයේ විශ්‍රාමික බුද්ධි අංශ සැරයන්වරයෙක්‌ පසුගියදා ගෙල වැලලාගෙන මියගොස් තිබුන අතර ඔහු මෙයට සෘජුව සම්බන්ධවූයේද නැද්ද යන්න තවම පොලිසිය හෙළි කර නැත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment