ජනපති - අගමැති හමුවෙයි: කැබිනට් සංශෝධනයට ගත් තීරණයේ වෙනසක්

ජනපති - අගමැති හමුවෙයි: කැබිනට් සංශෝධනයට ගත් තීරණයේ වෙනසක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පසුගිය දා විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වේ.

එහිදී වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව වාර්තා වේ.

මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය කබීර් හෂිම් මහතා ද සහභාගී වී තිබේ.

කැබිනට් සංශෝධන කල් යයි

කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හා එක්සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින් අතර ඉකුත් සිකුරාදා (03) රාත‍්‍රියේ ජනාධිපති නිල නිවසේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඉදිරි දින කිහිපයේදී සිදුකිරීමට සැලසුම් කර තිබූ කැබිනට් මණ්ඩල සංශෝධනය මාස කිහිපයකින් කල් දැමීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.

අමාත්‍යවරුන් කිහිප දෙනකුට එල්ල වී ඇති චෝදනා ද සැළකිල්ලට ගනිමින් කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට ජනාධිපතිවරයා මීට පෙර තීරණය කර තිබිණි.

එහෙත් ඉකුත් සිකුරාදා පැවති සාකච්ඡාවේදී ඇතිකරගත් එකඟතා මත කැබිනට් සංශෝධනය මාස කිහිපයකින් කල්දැමීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේවන විට ඒකාබද්ධ විපක්ෂය යහපාලන ආණ්ඩුවේ ටොප් ටෙන් හෙළිදරව්ව මගින්ද රජයේ ඇමැතිවරුන්ට චෝදනා එල්ල කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි ඉදිරිපත් කර ඇත.

කැබිනට් සංශෝධනයකට ඉල්ලීම් රැසක්

මේ අතර වළස්මුල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසූයේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කඩිනමින් සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

ඔහු කියා සිටියේ ඇතැම් පිරිස් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකරන ලෙසට ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබුණද ඉදිරි දින කිහිපය තුළ එවැනි සංශෝධනයක් සිදු නොවන බවයි. 

කැබිනට් සංශෝධනයක් සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන වේදිකාවේ උණුසුම් කථාබහක් ඇතිව ඇති අතර ආණ්ඩුව නියෝජනය කරන ඇතැම් අමාත්‍යවරුන් කැබිනට් සංශෝධනයක් අවශ්‍ය බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කරන අතරතුර, ඇතැම් අමාත්‍යවරුන් පවසන්නේ එවැනි සංශෝධනයක් අවශ්‍ය නොවන බවයි. 

එමෙන්ම කෑගල්ල ප්‍රදේශයේ පැවති තවත් ජන හමුවකදී එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා කියා සිටියේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා කැබිනට් සංශෝධනය සිදුකරන්නේ නම් ඊට එකඟත්වය පළ කරන බවයි.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment