ජයග්‍රහණය ගැන චන්දිමාල් හා අසේල කියූ දේවල්


සිම්බාබ්වේ කණ්ඩායම මෙම තරගාවලියට පිවිසියේ ඉතාමත් හොඳ සැලසුමකින් බව පෙනුණත් ඒ සියල්ල බිඳ දැමීමට තම කණ්ඩායමේ සියලුම දෙනා සමත්වූ බව ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පවසයි.

ඔහු මේ අදහස් දැක්වූයේ ශ්‍රී ලංකා-සිම්බාබ්වේ ටෙස්ට් තරගය අවසන් වීමෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදීය. තවදුරටත් අදහස් දැක්වූ චන්දිමාල් "සිම්බාබ්වේ පිලෙන් අපිට හොඳ පීඩනයක් ලැබුණා. අපේ කඩුලු 5ක් ඉක්මනින්ම බිඳ වැටුණත් අසේල හා දික්වැල්ල අපට ජයග්‍රහණය සඳහා අවශ්‍ය මාර්ගය සලසා දුන්නා. මම අද උදේ (ඊයේ 18දා) මේ තරගයට එනකොට අසේලට කිව්වෙ "අසේල ඔයා අද 100ක් ගහනවා කියලා. ඒත් අසේල මට කිව්වේ "මම ලකුණු 70ක් ගහලා තරගය දිනවනවා කියලා" ඒ වගේ විශ්වාසයක් අපේ කණ්ඩායම තුළ දැන් ගොඩනැඟිලා තියෙනවා. ඒ වගේ කෙනෙක් අපේ
කණ්ඩායමේ ඉන්න එක ගැන මට ආඩම්බරයක් තියෙනවා" යැයි පැවැසූ ශ්‍රී ලංකා නායකයා රිවර්ස් පහර සම්බන්ධයෙන්ද අදහස් දැක්වීය.

"මම මගේ කණ්ඩායමේ පිතිකරුවන්ට කිව්වේ ඔයාල තමන්ට හුරු පුරුදු විදියට සෙල්ලම් කරන්න. මේ තරගය එතරම් පීඩනයක් කරගන්න එපා කියලයි. ඒ වගේ පහරවල්වලින් තමයි අපට ලකුණු එන්නෙ. ඉතින් මේ වගේ තණතීරුවල ඒ වගේ පහරවල් යන එක ඒ තරම් ගැටලුවක් වෙන්නේ නැහැ. මේ ජයග්‍රහණය නිසා අපේ මානසිකත්වය ඉහළ මට්ටමකට පැමිණියා. මේ ජයග්‍රහණයත් සමඟින් ඉන්දියාව සමඟ පැවැත්වෙන තරගාවලියට හොඳින් මුහුණ දෙන්න අපිට සැලසුම් තියෙනවා" යනුවෙන්ද ශ්‍රී ලංකා නායකයා කීය.

මේ අතර තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ අසේල ගුණරත්න පැවැසුවේ මෙවැනි ජයග්‍රහණයක් කරා යෑමට දික්වැල්ලගෙන් ලැබූ උපදෙස් හා දිරිගැන්වීම් අමතක නොකළ හැකි බවය.

"මම ලොකු පහරවල්වලට යයි කියලා දික්වැල්ල නිතරම බලාපොරොත්තු වුණා. එයා නිතරම මම ළඟට ඇවිත් කිව්වෙ අර පහරට යන්න එපා. මේ පහරට යන්න කියලයි. ඒ වගේ ක්‍රීඩකයකු සමඟ ලකුණු රැස්කරන එක හරි පහසුයි. අපි දෙන්නටම ඕන වුණේ තරගය දිනවන්න"යැයි පැවැසූ ගුණරත්න ඉදිරියේදී විවිධ ආකාරයට පන්දු යැවීමට අදහස් කරගෙන ඇති බවද පැවැසීය.

තරගයේ පරාජයෙන් පසුව සිම්බාබ්වේ නායක ක්‍රීමර් කියා සිටියේ දින 4ක් පුරා තම කණ්ඩායම අතේ තිබූ තරගය අවසන් දිනයේදී ගිලිහී ගිය බවයි. කෙසේ වෙතත් මෙවර පෙන්වූ දක්ෂතා නිසා ඉදිරියේදී තම රටට ටෙස්ට් තරග වැඩිපුර ලැබෙනු ඇතැයි ක්‍රීමර් බලාපොරොත්තු පළ කළේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment