සන්නද්ධ බයිසිකල් කල්ලියක් යාපනය හොල්ලයි

යාපනය, කෝපායි පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට නන්දාවිල් අම්මාන් කෝවිල අසලදී යතුරුපැදිවල පැමිණි නාඳුනන කල්ලියක් විසින් දකුණු ඉන්දියානු ත්‍රාසජනක චිත්‍රපටයක් විලසින් වට කොට කඩු, කිනිසිවලින් ඊයේ (30දා) පහරදී පලා ගොස් තිබේ.
රාජකාරි කටයුත්තක් සඳහා යතුරුපැදියක නැඟී යමින් සිටි මේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගේ ගමන හරස් කොට යතුරුපැදි පහක පැමිණි දස දෙනකුගෙන් යුතු නාඳුනන කල්ලිය විසින් මෙසේ ප්‍රහාර එල්ල කොට පලා ගොස් ඇති බවද පොලිසිය සඳහන් කරයි.

මුහුණු වසා ගෙන පැමිණි මෙම
යතුරුපැදි කල්ලිය ඊයේ මධ්‍යහ්න 12.15ට පමණ පහර දීම සිදු කොට පලා ගොස් ඇතැයිද පොලිසිය කියා සිටී.
පහර කෑමට ලක්වූ මන්නරම ප්‍රදේශයේ පදිංචි සුරේන්ද්‍ර සහ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි ධම්මික යන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

නිල ඇඳුමින් සැරැසී සිටි මේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා කැපුම් හා තැළීම් තුවාල සහිතව වේදනාවෙන් මාර්ගයේ වැටී සිටියදී ප්‍රදේශවාසීන් එක්ව ඔවුන් දෙදෙනාව යාපනය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇත.

බරපතළ තත්ත්වයේ සිටි එක් පොලිස් කොස්තාපල්වරයකුට සැත්කමක්ද සිදු කළ බව යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙක් සඳහන් කළේය.
යාපනයේ ක්‍රියාත්මක වන 'ආවා ගෘෘප්' කල්ලිය විසින් මේ අමුනාෂික ප්‍රහාරය දියත් කර ඇති බවටද පොලිසිය සැක පළ කරයි.
දකුණු ඉන්දියානු ත්‍රාසජනක චිත්‍රපට නරඹා ඊට අනුව කඩු කිනිසි, මන්නා, පොරෝ ආදී තියුණු ආයුධවලින් පුද්ගලයන්ට පහර දීම් කටයුතු පසුගිය කාලය පුරාවට 'ආවා ගෘෘප්' කල්ලිය විසින් සිදු කරනු ලැබීය.

මෙම පහරදීම හරහා ඔවුන්ගේ කල්ලිය ජනප්‍රිය කරවා ගැනීමට සහ ඔවුන්ගේ බලය උතුරු අර්ධද්වීපයේ තහවුරු කර ගැනීමට ඔවුන් මෙවැනි අපරාධ සිදු කරන බවද පොලිසිය සඳහන් කරයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා උතුරු පළාත් භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණය හා උපදෙස් මත පොලිස් කණ්ඩායම් තුනක් යොදා තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment