අල්ලස් කොමිසම පැමිණිල්ල වෙනස් කළැයි හිටපු ඇමති වෙල්ගම නඩු මගට

ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නොමැති තනතුරක් වන නියෝජ්‍ය සභාපති ධුරයක් නිර්මාණය කිරීම තුළින් රජයට රුපියල් මිලියන 33ක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම
මහතාට එරෙහිව ගොනුකර ඇති චෝදනා පත්‍රයක් සංශෝධනය කිරීමට අල්ලස් කොමිසම ගෙන ඇති තීරණයට එරෙහිව කුමාර වෙල්ගම හිටපු ඇමැතිවරයා ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සමක් සැප්තැම්බර් මස 20 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය පෙරේදා (17දා) නියෝග කළේය.

මෙම චෝදනාව සම්බන්ධයෙන් කුමාර වෙල්ගම හිටපු ඇමැතිවරයාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබිණි. අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් පිළිගත් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විත්තිකරුට අදාළ චෝදනා සංශෝධනය කිරීමට එම කොමිසමට අවසර ලබා දුන්නේය. එම තීරණයට එරෙහිව කොළඹ මහාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කරමින් කුමාර වෙල්ගම හිටපු ඇමැතිවරයා කියා සිටින්නේ අල්ලස් කොමිසම මුලින්ම ගොනුකළ චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය දුන් අවසරය නීතියට පටහැනි බවයි. මේ හේතුවෙන් එම චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට මහෙස්ත්‍රාත් අධිකරණය දුන් අවසරය අහෝසි කරන ලෙසද වෙල්ගම හිටපු අමාත්‍යවරයා කොළඹ මහාධිකරණයෙන් ඉල්ලා සිටී.

ප්‍රවාහන ඇමැතිවරයා ලෙස කටයුතු කළ අවධියේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නොමැති තනතුරක් වන "නියෝජ්‍ය සභාපති" තනතුරක් අලුතින් ස්ථාපිත කිරීම තුළින් රජයට රුපියල් මිලියන 33ක පාඩුවක් සිදුකළ බව චෝදනා කරමින් කුමාර වෙල්ගම හිටපු ඇමැතිවරයාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබේ.

කේ.එස්. උදයකුමාර්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment