2020ට හොඳම පොදු අපේක්ෂකයා විජේදාස රාජපක්ෂ

2020ට හොඳම පොදු අපේක්ෂකයා විජේදාස රාජපක්ෂ

 

කෙසේවෙතත් මෙම රැස්වීමෙහි දී විජේදාස අමාත්‍යවරයා පිළිබඳව කිසිම අවසන් තීන්දුවකට පැමිණ නොමැති බවද වාර්තා වේ. ඔහු ගැන තීන්දුවකට පැමිණෙන්නට කමිටුවක් පත් කර ඇති අතර දින දෙකක් තුළ තීන්දුවක් ලබා දෙන මෙන් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කමිටුවට පවසා ඇත. 

එහෙත් අපට කැට තබා කිව හැක්කේ මෙම අවසන් තීන්දුව නම් කොහෙත්ම නොගැනෙන බවය. රනිල්ගේ මේ කමිටුව දින දෙකකින් ලබා දෙන තීන්දුව අධ්‍යනය කිරීම සඳහා තවත් අනු කමිටුවක් පත් කෙරෙනු ඇත. එහි නිර්දේශ විශ්ලේශනය කිරීමට යළිත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට පැවරෙනු ඇත. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අදහස් යළි මන්ත්‍රී කණ්ඩායමෙහි සාකච්චා කෙරෙණු ඇත. මෙසේ ගෝටාබය රාජපක්ෂගේ අත්සන නිවැරදිදැයි සොයා බැලීමට නීතිපති දෙපාර්තමේන්තුවට ගත වූ තරම්ම කාලයක් විජේදාස ගැන රනිල්ගේ තීරණය පැමිණීමට ද ගතවනු ඒකාන්තය. 

අප මෙසේ කියන්නේ ඇයි ? විජේදාස රාජපක්ෂ යනු නියම ම ශ්‍රී ලාංකික දේශපාලනඥයා නිසාය. 

විජේදාස රාජපක්ෂගේ හීනය වී ඇත්තේ 2020 ජනාධිපතිවරණයෙහි දී පොදු අපේක්ෂකයා වීමට ය. ඥානසාරව සඟවාගෙන සිටිමින්, පසුව මහානායකවරුන්ගේ සහායද ලබමින් සිංහල බෞද්ධ බලවේගය හසුරුවා ගැනීමට ඔහු සමත්ව සිටී. එයින් ම මෛත්‍රීපාල ජනපතිගේ සිතද ඉහළින්ම දිනා ගැනීමට ඔහු සමත් ය. ජනපති මෛත්‍රීගේ ප්‍රියතම සිංහල බෞද්ධ දේශපාලනඥයා විජේදාස බව කීවොත් එය බොරුවක් නොවේ. එහෙත් මෛත්‍රීට විජේදාසව කෙළින්ම තමන්ගේ පක්ෂයට ගන්නට ද නොහැක. එජාපයෙන් නොරොක් වී පැමිණෙන්නන් ඔහු නොගන්නා බවට පොරොන්දු වී ඇති හෙයින් එසේ කළ නොහැක.

රනිල් ? රනිල්ට අවැසි නම් විජේදාසව අදව පක්ෂයෙන් ඉවත් කිරීමට තිබිණි. එහෙත් ඔහු එය කළේ නැත. කරන්නේත් නැත. සමහරවිට රනිල් සහ මහින්ද සම්බන්ධ කරන දේශපාලනික හුය විජේදාස රාජපක්ෂ වන්නටත් පුළුවන. ඊට සාක්ෂි නැතත් එවැන්නක් විය හැකියාව බොහෝ වැඩිය. අනෙත් අතට විජේදාස යනු හැමෝම සමඟ හොඳ වී හැමතැනම සිටි අයෙකි. ඔහු කාගේත් රහස් දනී. එහෙයින් රනිල්ට වුවමනා වුවත් ඔහුව එළවන්නටද හැකියාවක් නැත. හේතුව කුමක් වුවත් දැනට නම් විජේදාස එළවන්නට රනිල්ට කොහෙත්ම වුවමනාවක් නොමැති බව නම් පැහැදිලිය. 

අනෙත් අතට මහින්ද. මහින්දට මුළු ඒකාබද්ධ විපක්ෂයට ම වඩා විජේදාසව වටී. ඒකාබද්ධයේ සිටින කිසිවකුටවත් කළ නොහැකි දේ විජේදාස කරයි. කොටින්ම රාජපක්ෂලාට එරෙහි නඩු නීතිපති දෙපාර්තමේන්තුවේ මංමුලා කොට කල් මරන්නේ වෙන කවුද ? රජය තුළම හිඳිමින් රජයට අවාසි ප්‍රකාශ කරමින් රජය අවුල් කරන්නේ කවුද ? කොටින්ම කියා ගන්නට බැරි තරම් මහින්දට විජේදාසව වටී. එහෙත් මහින්දට විජේදාසව වටින්නේ ඔය ඉන්නා තනතුරෙහි ඉන්නා ලෙසටම ය. වෙනෙකක් තබා මහින්දගේ ඒකාබද්ධයේ ඊළඟ උද්ඝෝෂණය විජේදාස ඉවත් නොකරන ලෙසට ආණ්ඩුවට බලකෙරෙන්නක් වුවත් වන්නට හැකිය. 

අවසාන වශයෙන් සිංහල බෞද්ධ බලවේගයෙහි මූලධර්මවාදී ප්‍රවේශයට හොඳින්ම ආමන්ත්‍රණය කළ හැකි පුද්ගලයා වන ගෝටාබය ගැන බලමු. තමන් අධිකරණ ඇමති තනතුරෙහි හිඳිනා තෙක් ගෝටාබයව නම් අත් අඩංගුවට ගන්නට ඉඩ නොදෙනා බව කිව්වේ විජේදාසය. ඒතරම් විස්වාසවන්ත උදව් කරුවෙක් ගෝටාබයට තම පවුලෙන්වත් සොයාගත හැකිද ? නැත !

විජේදාස යනු සෘතු හතරටම සරිලන දේශපාලකයෙකි. පෙර කී දේශපාලනික සෘතු හතරටම ඔහු ඔරොත්තු දෙයි. සෘතු හතරටම උපකාරී ද වෙයි. 

එසේම විජේදාසගේ රාජපක්ෂ ප්‍රේමය ප්‍රචලිත එකකි. විජේදාසගේ ගෙදරට වෙඩි තැබූ සිදු වීමෙන් අනතුරුව එවකට ජනපති මහින්ද ඔහුට දුරකථන ඇමතුමක් දි සුවදුක් විමසා තිබිණි. වෙඩි තබා තිබුණේ මහින්දලාගේම කට්ටිය බව අමුතුවෙන් කිව යුතු නැතැයි සිතමි. එහෙත් විජේදාස එම ඇමතුමෙන් අනතුරුව ඔහුගේ සුවදුක් බැලීමට නිවසට පැමිණි හැමටම කියා තිබුණේ වෙඩි තැබීම ගැන නොව මහින්දගේ දුරකථන ඇමතුම ගැනය. 

එසේම ගෝටාබය රාජපක්ෂ සමඟ කාර් එකට වී පැය එකහමාරක් කතා කළ යහපාලන රජයේ ඇමතිවරයකු ගැන ලංකා නිව්ස් වෙබ් අපි මීට පෙර හෙළිදරව් කළෙමු. එදා අප නම නොකීවද අද කියන්නෙමු. ඒ, විජේදාස රාජපක්ෂය. ඔහු එතරම්ම රාජපක්ෂ ලැදිය. සැබැවින්ම මෛත්‍රීපාල සිරිසේනට සහ රනිල් වික්‍රමසිංහට වඩා විජේදාසගේ ලැදියාව ඇත්තේ මහින්දටය. 

අප කලින් සඳහන් කළ ආකාරයට ම මෛත්‍රී විජේදාසට ආණ්ඩුවෙන් යන්නට කියන්නේ ද නැත. රනිල් විජේදාසට පක්ෂයෙන් යන්න කියන්නේ ද නැත. මහින්ද විජේදාසට එන්න කියන්නේද නැත. මේ සියල්ලන්ට ම අවශ්‍යව ඇත්තේ විජේදාස සමඟ රහසින් පෙම් කරමින් විජේදාස අද ඉන්නා තැනම තියාගන්නටය. 

ලංකාවේ ජනාධිපති වන්නට නම් සිංහල බෞද්ධ බලවේගය කළමනාකරණය කරගත යුතුමය. ඊට භික්ෂූන් හසුරුවා ගත යුතුය. විජේදාස එය කළේය. අපේ වචනයෙන් ම කියනවා නම් විජේදාස දැන් ඉන්නේ හාමුදුරු චූන් එකේය. එසේම විජේදාස බොහෝ අය ගැන බොහෝ දේ දනියි. විජේදාස කට ඇරියොත් බොහෝ අයගේ රෙදි ගැලවෙන්නට පුළුවන. ඒ කේවල් කිරීම ද තියාගෙන ම විජේදාසට වුවමනා වී ඇත්තේ 2020 ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වන්නටය. 

අනෙත් අතට රනිල් මෛත්‍රී නායකයින් දෙපළම වත්මන් රජය 2020 වනතුරු පවත්වාගෙන යාමට එකඟ තාවය සිටී. එසේ රජය ඇදගෙන යන්නට නම් රටේ ප්‍රශ්න අමතක කර ජනතා අවධානය වෙනත් තැන්හි බැඳ තබන්නට විජේදාස වැනි දේශපාලනඥයින් සිටිය යුතුමය. විජේදාස කරන්නේද යටි අරමුණු සහිතව මෛත්‍රී, රනිල්, මහින්ද තිදෙනාම සමඟ ඒ ඒ මොහොතේ ඒ ඒ විදියට සිටීමය. හරියට ම කීවොත් විජේදාස ඊළඟට කරන්නේ කුමක්දැයි විජේදාසමවත් මේ මොහොතේ දන්නේ නැත. විජේදාස නියම ශ්‍රී ලාංකික දේශපාලනඥයා යැයි අප කීවේ ඒකය.  

දැනට සිටිනා අනෙත් චරිත ගැන සලකා බලන විට 2020 අපේක්ෂකත්වයට විජේදාස රාජපක්ෂ තරම් ගැලපෙන වෙන කෙනෙක් ඇත්තේම නැත. ඔහු දිනයිද නැද්ද යන්න රටේ ජනතාවගේ හැටියට තීරණය වනු ඇත. එසේම ලංකාවේ දේශපාලන විශ්ලේශනය කරන්නට මහා ලොකු දේශපාලන න්‍යායන් ද අවශ්‍ය නැත. ලංකාවෙහි ඇත්තේ මෙතක් සිටි ප්‍රමුඛතම දේශපාලන දාර්ශනිකයින් යළි උපදවා ගෙනාවත් ඔවුන් ද අනාථවන අන්දමේ දේශපාලන පරිසරයක් ය. එහි විජයග්‍රහණ ලබන්නට, එදාවේල ගැට ගසා ගැනීමට හරියට දැන සිටියා නම් හොඳටෝම ඇතිය. විජේදාස මීට සුදුසු ම පුද්ගලයා බව අප කියන්නේ ඒකය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment