මුස්ලිම් පාසල් නිවාඩුව වෙනස් කිරීම, අධ්‍යාපන අමාත්‍යාංශයේ සැලසුම් විරහිතභාවය ප‍්‍රදර්ශනය වීමක්!

මුස්ලිම් පාසල් නිවාඩුව වෙනස් කිරීම, අධ්‍යාපන අමාත්‍යාංශයේ සැලසුම් විරහිතභාවය ප‍්‍රදර්ශනය වීමක්!
 
ඊයේ දිනය වන විට සියලූම මුස්ලිම් පාසල්වල අද දිනයේ සිට නිවාඩු ලබාදීම සඳහා ප‍්‍රගති වාර්තා සකස්කර, දෙමව්පිය රැස්වීම්, ගුරු රැස්වීම්  සංවිධානය කොට තිබුණි. එසේ තිබියදී අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ රාති‍්‍රයේ සිට අද දිනට ලබාදීමට නියමිත නිවාඩුව අවලංගු කළ බව මාධ්‍ය හරහා ප‍්‍රචාරය කරන ලදී. ඒ අනුව පාසල් නිවාඩුව 2017.08.31 දින සිට ඇරඹෙන බව දක්වා ඇත. මෙය අත්තනෝමතික පීඩාකාරී තීරණයක් බව පැහැදිලිව ප‍්‍රකාශ කරමු. 
 
එවැනි නිවාඩු වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් තිබුණා නම් එය සතියකට පෙර හෝ දැනුම් දීමට අපොහොසත් වීමෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සැලසුම් විරහිත භාවය හා අකාර්යක්ෂම භාවය මනාව ප‍්‍රදර්ශනය කොට ඇත. මුස්ලිම් පාසල්වල මුස්ලිම් නොවන සිංහල හා දෙමළ ගුරුවරු සේවය කරති. සියලූම ගුරුවරු අද දින සිට ඇරඹෙන නිවාඩුවට අදාළ සැලසුම් සකස් කොට තිබූ අතර, සමහර ගුරුවරු විදේශ නිවාඩු ද අනුමත කරවාගෙන තිබුණි. එවැනි පසුබිමක අධ්‍යාපන අමාත්‍යාංශය අවසන් මොහොතේ ගන්නා ලද මෙම තීරණය බරපතල පීඩාකාරී එකකි. මේ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය අද දිනයේ අධ්‍යාපන අමැතිවරයාට මෙන්ම අධ්‍යාපන ලේකම්වරයාට ද විරෝධය පළ කළේය.
 
පාසල් කාලසටහන සකස් කිරීමේදී වාර්ෂික දින දර්ශනය තුළ සැප්තැම්බර් 01 දින හජ්ජි උත්සවය සඳහා ප‍්‍රසිද්ධ නිවාඩු දිනයක් ලෙස දක්වා ඇත. පාසල් කාලසටහන් සකස් කිරීමේදී හෝ මේ පිළිබඳ අවධානයකින් යුතුව කටයුතු කළ යුතුව තිබුණි. එසේම අධ්‍යාපන ඇමතිවරයා සඳහන් කළ පරිදි මුස්ලිම් ආගමික කටයුතු ඇමතිවරයාගේ ඉල්ලීමක් මෙයට පාදක වී ඇත. එසේ නම් ඔවුන් ද අවසන් දිනය දක්වා සැලසුම් විරහිතව කටයුතු කිරීම බරපතල ගැටළුවකි. 800 කට ආසන්න මුස්ලිම් පාසල් විශේෂ කාලසටහනකට කටයුතු වීම තුළ විශේෂ අවධානයක් මේ සම්බන්ධයෙන් යොමු කළ යුතුව තිබුණි. මෙම අත්තනෝමතික තීරණ ගැනීම් මඟින් ගුරුවරු බරපතල පීඩාවක පත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර සිටින ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයේ සැලසුම් විරහිත භාවය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව පෙන්වා දෙයි.
 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment