අහුලපු කැසට් රෙකෝඩරයට විදුලිය සැපයීමේදී පුපුරා ගොස් දරුවෙකුට තුවාල


මාලබේ පිට්ටුගල ප‍්‍රදේශයේ නිවසක් ඉදිරිපිට තිබී අහුලා ගත් බව කියන ගුවන් විදුලි යන්ත‍්‍රයක් නිවසට රැගෙන ගොස් විදුලියට සම්බන්ධ කිරීමේදී පුපුරා යාමෙන් තුවාල ලැබූ 13 හැවිරිදි දරුවකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබ ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි.



බණ්ඩාරවෙල ප‍්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන තුවාල ලැබූ දරුවා පාසල් නිවාඩුව ගත කිරීම සදහා සිය මිත්තණියගේ මාලබේ පිට්ටුගල ප‍්‍රදේශයේ නිවසට පැමිණ සිටි අතරතුර පිට්ටුගල ප‍්‍රදේශයේ වායු සමීකරණ යන්ත‍්‍ර අලුත්වැඩියා කරනු ලබන ආයතනයක් ඉදිරිපිට වැටී තිබූ හොඳින් ඇසුරුම් කර තිබූ මෙම ගුවන් විදුලි යන්ත‍්‍රය අහුලා නිවසට ගෙනැවිත් එය කි‍්‍රයාත්මක දැයි බැලීමට නිවසේ විදුලි පද්ධතියට සවි කිරීමට යාමේදී පුපුරා ගොස් ඇති බව සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවද පොලිසිය කියයි.

අනතුරින් දරුවාගේ දෙඅත්, පපුව සහ පාද ප‍්‍රදේශය පිළිස්සී ගොස් ඇති බවත් පුපුරා යාම සිදු වූ කාමරයේ මේසය සහ අවට ප‍්‍රදේශයට විශාල ලෙස හානි සිදු වී ඇති බවත් පොලිසිය පවසයි.

මෙය පුපුරා ගොස් ඇති ආකාරය අනුව විදුලි සම්බන්ධතාව ලබා දෙන විටම පුපුරා යන ආකාරයේ සහ එහි ඇතුළත යකඩ තහඩු තබා සාදා ඇති ආකාරයක් පෙන්නුම් කරන බැවින් ද එය ගුවන් විදුලි යන්ත‍්‍රයක් ලෙස සකස් කළ කුඩා බෝම්බයක් බව පෙනී යන බැවින් ද ඒ පිළිබදව රජයේ රස පරීක්ෂකවරයා කැඳවා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද අතුරුගිරිය පොලිසිය සඳහන් කරයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment