'GMOA කතාව බොරු' - ජනපති : වෛද්‍යවරුන්ගේ දීමනා කපලා - GMOA


මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් පසුගිය සඳුදා දිනයේදී තමන් විසඳුමක් ප්‍රකාශ කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

පුවත්පත් කතුවරුන් හා ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ පැවැති හමුවකදී ජනාධිපතිවරයා මේ බව කීය.

එසේම ඔවුන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයාගෙන් විමසා සිටි බවත්, එහිදී මාධ්‍ය එම ප්‍රකාශය වැරදි ලෙස ප්‍රචාරය කර ඇති බවත් ඔහු පැවසුවේයැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.

"රජයේ වෛද්‍ය නිලධාරින්ගේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම වැරදියි. ගිය සිකුරාදා සයිටම් ගැටලුව ගැන මම රැස්වීමක් කැඳෙව්වා. විශ්වවිද්‍යාලවල වෛද්‍ය විද්‍යාලවල පීඨාධිපතිවරුන් සහ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ සිසුන්ගේ දෙමාපියන්ගේ සංගමය මාව හමුවෙන්න ඉල්ලා තිබුණා. ඒ අයගේ ඉල්ලීම අනුව මම රැස්වීම කැඳවන අවස්ථාවේ අනෙක් ආයතනවලටත් එන්න කිවුවා.

පීඨාධිපතිවරුන්ගේ සංගමය යෝජනා හතරක් දුන්නා. මම ඒ වෙලාවේ කිව්වෙ ලබන සඳුදා වනවිට ප්‍රකාශයක් කරන්නම් කියලයි. ඒ දවස් දෙක තුනේ ආයතනවලින් තව තව ප්‍රශ්න ආවා. පස්සෙ ඊයේ මම වෛද්‍ය පාදෙනියට කතා කරලා ඇහුවා,“ඇයි එහෙම ප්‍රකාශයක් කළේ, මම කිව්වේ සඳුදා වනවිට ප්‍රකාශයක් කරන්නම් කියලනේ"කියලා. පාදෙනිය කිව්වේ විසඳුමක් දෙන බව කිව්වේ නෑ, මාධ්‍ය වැරදියට කියලා තියෙනවා කියලයි" යනුවෙන්ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

යෝජිත බදු පනතින් වෛද්‍යවරුන්ගේ දීමනා කපලා

යෝජිත නව බදු පනත මගින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව හා වෛද්‍යවරුන්ට ලබාදෙන දිරිදීමනා හා අමතර රාජකාරි දීමනා සඳහා ලබාදෙන මුදලටත් බදු පනවා තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

නෙවිල් ප්‍රනාන්දු රෝහල පවත්වා ගෙන යෑමට වසරකට රුපියල් මිලියන 3000ක් වැය කරන ආණ්ඩුව ලාභ නොලබන ආයතනයක් වන වෛද්‍ය සභාවට බදු පැනවීමට කටයුතු කිරීම දැඩි අසාධරණ බවද එම සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා සදහන් කළේය.

වෛද්‍යවරුන්ට හා වෘත්තීයවේදීන්ට ලැබෙන දීමනා සඳහා බදු අයකර ගැනීමට යෑම හරහා වෛද්‍යවරුන් ඇතුළු වෘත්තීයවේදීන් රට හැර යෑම සිදුවන බවද හෙතෙම පවසා සිටියේය.

මෙම පනත ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට සැලසුම් කර තිබෙන බවද ඔහු සඳහන් කළේය. 


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment