නාමල් ඇතුළු 6කට එරෙහි නඩුව සලකා බලයි.


රුපියල් මිලියන තිහක මුදලක් අයුතු ලෙස උපයා ගැනීම මගින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතට ගැනෙන වැරැදි සිදු කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හයදෙනකුට එරෙහිව ගොනුකර ඇති නඩුව එහි විත්තිකරුවන් දෙදෙනකු නොමැතිව විභාග කිරීම සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමට කොළඹ මහාධිකරණය ඊයේ (31) තීරණය කෙළේය.

ඒ අනුව දැනට අධිකරණය මගහැර විදේශගතවී ඇති බව කියන ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ඉන්දික ප්‍රභාත් කරුණාජීව සහ ඔරනෙලා ඉරේෂා සිල්වා යන විත්තිකරුවන් දෙදෙනා ශ්‍රී ලංකාවේ නොමැති බව තහවුරු කිරීම සඳහා අවශ්‍ය සාක්ෂි කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා නීතිපතිවරයාට නියම කෙළේය.

එම විත්තිකරුවන් දෙදෙනා නොමැතිව මෙම නඩුව විභාගයට ගන්නා ලෙස රජයේ නීතිඥවරයා කළ ඉල්ලීම සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙලෙස නියෝග කෙළේය.

ඊයේ (31) මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙහි විත්තිකරුවන්‍ වන නාමල් රාජපක්ෂ සහ නිත්‍යා සේනානි සමරනායක යන අයට රුසියාවේදී පැවැත්වෙන 19 වන ලෝක තරුණ හා ශිෂ්‍ය සමුළුවට ලබන ඔක්තෝබර් 14 සිට 21 දින තෙක් සහභාගීවීමට ආරාධනා ලැබී ඇති බැවින් ඒ සඳහා අවසර දෙන ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

2013 ඔක්තෝබර් මස 01 දින සහ 2014 අගෝස්තු මස 31 අතර කාලයේදී කොළඹදී පැමිණිල්ල නොදත් අන් අය සමඟ එක්වී රුපියල් මිලියන තිහක් අයුතු ලෙස උපයා ගැනීමෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතට ගැනෙන වැරැදි සිදුකිරීම, ඒ සඳහා ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 11ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, සුජානි බෝගොල්ලාගම, නිත්‍යා සේනානි සමරනායක, ඉන්දික ප්‍රභාත් කරුණාජීව, ඔරනෙලා ඉරේෂා සිල්වා සහ සීමාසහිත ගවර්ස් කෝපරේට් සර්විස් (පුද්ගලික) සමාගම මෙහි විත්තිකරුවෝ වෙති.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් සීමාසහිත ගවර්ස් කෝපරේට් සර්විසස් (පුද්ගලික) සමාගම වෙනත් සමාගමක් සමඟ කළ ගනුදෙනුවකදී රුපියල් මිලියන තිහක මුදලක් අයුතු ලෙස උපයාගෙන ඇති බව චෝදනාවෙහි දැක්වේ.

නඩුව නැවත කැඳවීම සැප්තැම්බර් මස 18 වැනිදා සිදුකිරීමට නියම කෙරිණි.

ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ ඇතුළු නීතිඥ මඬුල්ලක් විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතර රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ හංස අබේරත්න මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment