'අතිගරු ජනාධිපතිතුමනි, පරදින්න ලෑස්‌ති වෙන්න' - ගයේෂා, මෛත්‍රී ගැන කළකිරීමෙන්.


අද රුසියාවේ දී ආරම්භ වන තරුණ සහ ශිෂ්‍ය සමුළුවට (XIX WORLD FESTIVAL OF YOUTH AND STUDENTS IN RUSSIA) ශ්‍රීලනිපය නියෝජනය කරමින් සහභාගී වූ පිරිසෙහි නිසි කාන්තා සහ තරුණ නියෝජනය නැති බවට දෙහිවල ශ්‍රීලනිප කාන්තා සංවිධානයේ සභාපතිනිය සහ ශ්‍රී.ල.නි.ප සමස්ථ ලංකා කාන්තා සම්මේලනයේ කාරක සභික රංගන ශිල්පිනි, ගයේෂා පෙරේරා මහත්මිය චෝදනා කරයි.

එසේම මෙම ක්‍රියාකලාපයන් හේතුවෙන් ශ්‍රීලනිපය පරාජයේ මාවතට අවතීර්ණ විය හැකි බවයි ඇය වැඩිදුරටත් චෝදනා කරන්නේ...

ඇගේ සටහන පහතින්,

"ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා හොඳින් සූදානම් වී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ජයග්‍රහණය කරවීමට කටයුතු කරන ලෙස ශ්‍රීලනිප නව ආසන සංවිධායකවරුන් සහ දිස්‌ත්‍රික්‌ සංවිධායකවරුන් අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (12 දා) පැවසු බවට මාධ්‍ය මඟින් මම දුටුවෙමි.

ජනාධිපතිතුමණි, මා දෙහිවල ආසනයේ ශ්‍රීලනිපය යළි ගොඩනැගීමට කැපවුයේ ඇතැම් බංකොලොත් දේශපාලන නායකයන්ගේ නින්දා , අවලාද සහ මඩ ගැසීම් හමුවේ බව ඔබට මතක ඇතැයි සිතමි.

කාන්තාවක් ලෙසත්, එම නින්දා , අවලාද සහ මඩ ගැසීම් හමුවේ මා නොසැලුනේ ඔබ තුමා කෙරෙහි ඇති විශ්වාසයත්, ශ්‍රීලනිපය ජයග්‍රහණයේ මාවතට ප්‍රවිෂ්ඨ කර වීමට මා තුල ඇති උනන්දුවත් හේතුවෙනි.

නමුත්, කණගාටුවට කරුණ නම් ශ්‍රීලනිපය අද හැසිරෙන්නේ ජයග්‍රහණයේ මාවත වෙනුවට පරාජයේ මාවතට තෝරා ගත් පක්ෂයක් ලෙසිනි.

රුසියාවේ අද ආරම්භ වන තරුණ සහ ශිෂ්‍ය සමුළුවට (XIX WORLD FESTIVAL OF YOUTH AND STUDENTS IN RUSSIA) ශ්‍රීලනිපය නියෝජනය කරමින් සහභාගී වූ පිරිස නිරීක්ෂණයේ දී පැහැදිලි වන්නේ පක්ෂය පරාජයේ මාවතට අවතීර්ණ වී ඇති සේයාවකි.

මෙම සමුළුවට ශ්‍රීලනිපය නියෝජන කරමින් සහභාගී වූ කණ්ඩායමේ බහුතරයක් ම තරුණ, තරුණියන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් නොවේ. වයස 35-40 ඉක්මවූ මැදි වියත් පසු කල පුද්ගලයන්ය.

පක්ෂය ජයග්‍රහණය කරවීමට නම් තරුණ පරපුර ඉදිරියට ගෙන ආ යුතුය. ඔවුන්ට අවස්ථාවන් දිය යුතුය. නව ඡන්ද ආකර්ෂණය කර ගැනීමට වැඩපිළිවලක් තිබිය යුතුය.

නමුත්, ශ්‍රීලනිපය මේ සියල්ල පසක ලා තරුණ සමුළුවලට නුසුදුස්සන් සහභාගී කරමින් තරුණ, තරුණියන්ට තිබෙන අවස්ථාවත් අහිමි කරමින් සිටියි. කණගාටුවෙන් වුව ද කිවයුත්තේ මෙය හුදෙක් ශ්‍රීලනිපයෙන් තම බඩගෝස්තරය රැක ගන්නා පිරිසකට ලබා දුන් වාර්ෂික විනෝද චාරිකාවක් පමණක් වන බවයි.

එසේම කාන්තා නියෝජනය වැඩිකිරීමට ජනාධිපතිතුමා කතා කල ද මෙම සමුළුවට කාන්තා නියෝජිතයන් 20%ක් වත් සහභාගී වී නොමැත. මීට සහභාගී වී ඇති කාන්තාවන් ඉහිප දෙනා ද පක්ෂය පත්කළ ආයතන සභාපතිවරුන්ගේ සුරතල් පුද්ගලික ලේකම්වරියන් සහ කාර්යාල සහයිකාවන්ය. මොවුන් කිසිවෙක් පක්ෂය වෙනුවෙන් කල කිසි දෙයක් නැත...

දෙහිවල ආසනයේ තත්ත්වය ද රටේ තත්ත්වයට නොදෙවෙනි නැත. ඒ නිසා ඒ ගැන විශේෂයෙන් කියන්නට යන්නේ නැත. නමුත් එක කරුණක් පමණක් කියමි. දෙහිවල ශ්‍රීලනිප තරුණ සංවිධානයේත්, කාන්තා සංවිධානයේත් ප්‍රධාන තනතුරු දරන කිසිවෙකුටත් මේ සමුළුවට සහභාගී වීමේ අවස්ථාව හිමි වුයේ නැත. එසේම ශ්‍රීලනිපයේ ප්‍රධාන කාන්තා සංවිධානය වන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානයේ කිසිදු සාමාජිකාවකට මේ සමුළුව සඳහා සහභාගී වීමේ අවස්ථාවක් හිමි නොවූ බව එහි කාරක සභිකාවක් ලෙස වගකීමෙන් කිව යුතුය.

අවසානයේ කණගාටුවෙන් වුව ද කිව යුත්තේ ශ්‍රීලනිපය මෙසේ ගියොත් ඉදිරි මැතිවරණයේ දී ජයග්‍රහණය කිරීමට නොව තෙවන තැනට ඇද වැටෙනු ඇති බවයි. මා එසේ නොවේවා යැයි ප්‍රාර්ථනා කරමි.
ඒ මේ රටේ අහිංසක ශ්‍රීලනිප පාක්ෂිකයන් වෙනුවෙනි.

කරුණු මෙසේ වන විට ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක මැතිතුමා ද, ශ්‍රීලනිප තරුණ සංවිධානයේ සභාපති ශාන්ත බණ්ඩාර මැතිතුමා ද, ශ්‍රීලනිප කාන්තා සංවිධානයේ සභාපතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය ද නිහඩව සිටින්නේ දේශපාලන හෙන්චයියන්ට ඔවුන් යටව ඇති නිසාවෙන් ද?

තෙරැවන් සරණයි!

ගයේෂා පෙරේරා,
සභාපතිනි - දෙහිවල ශ්‍රීලනිප කාන්තා සංවිධානය.
කාරක සභික - ශ්‍රී.ල.නි.ප සමස්ථ ලංකා කාන්තා සම්මේලනය"

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment