උභය විහාර ප්‍රකාශය දුර දිග යයි ; ශ්‍රීලනිප නායකත්වය උභය විහාරික කාරක සංඝ සභාවට !

උභය විහාර ප්‍රකාශය දුර දිග යයි ; ශ්‍රීලනිප නායකත්වය උභය විහාරික කාරක සංඝ සභාවට !

 

බළලා මල්ලෙන් පිටට පනින්නේ අවසානයේය. අද (20) නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය සෑමවිටම මහානායක ස්වාමීන් වහන්සේලාගේ මතයට සමාන වන බවයි. අමාත්‍යවරයා මේ නොකියා කියන්නේ උභය විහාරික කාරක සංඝ සභාව කළ ප්‍රකාශය, එනම් ව්‍යවස්ථා සංශෝධනයක් හෝ අවශ්‍ය නැතැයි යන ප්‍රකාශය තමන්ගේ ද මතය බවය. ව්‍යවස්ථා කෙටුම්පත් යෝජනා වලට ද ශ්‍රීලනිප මතය ලෙස එක් කර තිබුණේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම අනවශ්‍ය බවකි. මේ අනුව දැන් සිවුරට මුවා වෙමින් විධායක ජනාධිපති ධුරය ආරක්ෂා කර ගැනීමේ වෑයමක ශ්‍රීලනිපය නිරත වී සිටින බව පැහැදිලිය. 

අනෙත් අතට ශ්‍රීලනිපය යනු උපතේ පටන් ම ජාතිවාදී පක්ෂයකි. එහෙයින් බලය බෙදීමේ විසඳුම ද ඔවුන්ට අකැපය. ශ්‍රීලනිපයේ මේ ගෝත්‍රික ස්වරූපය චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති ධුරය දැරූ සමයේ තරමක් තනුක කෙරුණු මුත් මහින්ද රාජපක්ෂ විසින් එය යළිත් ගෝත්‍රික අන්තය දක්වා ඇදගෙන යන ලදී. අද රාජපක්ෂ විරෝධීන් ලෙසින් පෙනීසිටින ශ්‍රීලනිප නායකයින් පවා මතවාදීමය තලයේදී නියෝජනය කරන්නේ රාජපක්ෂ වුවමනාව ම වන්නේ එහෙයිනි. බලය බෙදීමේ විසඳුම එක්සත් ජාතික පක්ෂ ව්‍යාපෘතියක් ලෙස රට හමුවේ දක්වා සිංහල ජාතිවාදය ඊට එරෙහිව අවුස්සා ඡන්ද ගැරීම ශ්‍රීලනිපයේ මෛත්‍රී සහ රාජපක්ෂ යන කඳවුරු දෙකේම එකම උපාය මාර්ගය බවට දැන් පත්ව තිබේ. රටේ අනාගතය ගැන තඹ දොයිතුවකට නොතකා මේ බලලෝභීන් ක්‍රියා කරන්නට හදන්නේ මේ නින්දිත ආකාරයට බව දැන් හොඳට ම පැහැදිලිය. 

පවතින ව්‍යවස්ථාව එලෙසින් ම පවත්වාගෙන යාමෙන් ප්‍රතිලාභ ලබන්නේ ජනපති මෛත්‍රීය. භික්ෂූන්ගේ විරෝධය හේතුවෙන් ව්‍යවස්ථාව සංශෝධනය කර ගැනීමට නොහැකි වූ බව රටට පෙන්වා 2015 දී ජනතාවට දුන් පොරොන්දුව අමු අමුවේ කඩකරමින් 2020දීත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ අවස්ථාව ඔහුට මින් හිමිවේ. සංඝ කාරක සභාවත් චන්දිම වීරක්කොඩිත් හැංගි හැංගී වෙස් බඳින්නේ මෛත්‍රීගේ 2020 නැටුමට අවශ්‍ය පසුබිම සූදානම් කිරීමට බව පැහැදිලිය. 

චන්දිම වීරක්කොඩිගේ කතාවේ තවත් මානයක් ද තිබේ. ඔහු පවසන්නේ ශ්‍රීලනිපයේ මතය සැමවිමට මහානායක හිමිවරුන්ගේ මතයට සමාන බවය. එසේ නම් මල්වතු මහානායක තිබ්බටුවාවේ සුමංගල හිමි පසුගියදා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබුණේ රට නොබෙදා බලය බෙදන ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය බවය. එහෙයින් එක්කෝ ශ්‍රී ලනිපයට මල්වතු මහනා හිමියන්ගේ මතය අනුව දැන් ම තියා හැඩ ගැසෙන්නට පුළුවන. අනෙත් අතට ශ්‍රීලනිපයේ මතය සැමවිටම මහනායක හිමිවරුන්ගේ මතයට ම සමාන නම් ශ්‍රීලනිපයට වෙනම නායකත්වයක් අවශ්‍ය ද නැත. ඒ නිසා ශ්‍රී ලනිපයේ නායකත්වය උභය විහාරික කාරක සංඝ සභාවට පවරා දී දැනට සිටින ශ්‍රීලනිප නායකයින්ට ගෙදර යාමට ද පුළුවන. 

- රංජිත් නිශාන්ත

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment