වාමාංශික ක්‍රියාධරයෙකු වූ ඇන්ටනි ප්‍රනාන්දු දිවියෙන් සමුගනී

වාමාංශික ක්‍රියාධරයෙකු වූ ඇන්ටනි ප්‍රනාන්දු දිවියෙන් සමුගනී
ඔහු මියගියේ නිවසේදීය. ඒ ඔහු රෝහලකට යාමට දැඩි අකමැත්තක් දැක්වූ බැවිනි. මෙය පොදු රෝහලක පවත්නා අසතුටුදායක තත්වය පිළිබඳව අපට හොඳින් පැහැදිලි කරයි. ඔහුවැනි සමාජයට සුවිශේෂ මෙහෙවරක් කල අයෙකුහට නිසි ගෞරවයෙන් යුතුව ප්‍රතිකාර කිරීමට සහ රැකබලාගැනීමට උචිත තත්වයන් අද පොදු රෝහලක නොමැත.  නමුත් ජීවිතකාලය පුරාම සමාජවිරෝධී වැඩවලින් ලෝකයට හානි සිදුකළවුන් රැකබලා ගැනීමට හා ප්‍රතිකාර කිරීමට සුවිශේෂ හා ගෞරවාන්විත සෞක්‍ය සේවාවන් පවතී. 
 
අපගේ ආයාචනය කියවූ, එම හැගීම් හා දුක් සාංකාවන් අප සමග බෙදාගත් හා හැකි අයුරින් අපගේ උත්සාහයට දායක වූ ඔබ සැමට අප මෙහිදී අපගේ සහෝදරාත්මක කෘතඥතාවය පලකිරීමට කැමැත්තෙමු. යමෙකු ගේ අසරණකමකට පිහිටවීමට යමෙකුගේ අනුකම්පාව අයදීමක් අප මෙහිදී නොකළෙමු. ඒ වෙනුවට අප කලේ බොහෝ කැපවුණු වාමාංශික ක්‍රියාධරයන්හට තම ජීවිතයේ අවසාන භාගයෙදී මුහුණ දීමට සිදුවන දේශපාලනික යථාර්තයන් පිළිබඳව සවිඥානකවූ හා ඒ පිළිබඳව අප සිතන අයුරින්ම සිතන ඔබ වෙත දේශපාලනික ආයාචනයක් කිරීමයි. 
 
අද වාමාංශික දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිතීන්හී ක්‍රියාකාරීවන අප හට අපගේ පෙර සටන් සගයන් තීරණාත්මක ලෙස රෝගීව සිටිනවිට ක්‍රියාකිරීමට සිදුව ඇත්තේ වෙළඳසැල් හිමියෙකු එසේ අසනීපවූ තම පැරණි සේවකයන් සම්බන්ධයෙන් ක්‍රියාකරන ආකාරයට බෙහෙවින් සමාන ආකාරයකිනි. (පළමුව ඔහු යම් මුදලක් යොදවයි. ඉන්පසු වෙළඳසැල තුල හා ඉන් පිටත තම සේවකයන් හා හිතවතුන්ගෙන් යම් මුදලක් එකතුකොටගනී. මෙසේ එකතුවන මුදල රෝගියාගේ සමීපතම ඥාතීන්හට භාරදෙනු ලබයි) 
 
මෙහිදී විශාලතම බර පැටවෙන්නේ රෝගියාගේ කිට්ටු ඥාතීන් හා හිතවතුන් හටය. මෙහි ප්‍රතිඵලය වන්නේ රෝගියා විසින් සුවිශාල වේදනාවක් අත්විඳිනු ලැබීමයි. බොහෝවිට මෙම වේදනාවන් යම් සරල සහයෝගී ක්‍රියාමාර්ග ඔස්සේ වලක්වාගතහැකි ඒවා වේ. අවසානයේදී මෙම වේදනාවන්ගේ තර්කානුකූලබව පෙන්වාදී එය සාධාරණීකරණය කිරීමට සංවිධානාත්මක ආගම් පැමිණේ. 
 
මෙහිදී මෙම සම්ප්‍රදායික රාමුවෙන් ඔබ්බට ගොස් යමක් කිරීමට අප උත්සාහකලෙමු. ඒ එමගින් අනාගතයේදී මීට වඩා වැඩිමනත් යමක් කිරීමට මග පෑදේය යන විශ්වාසය පෙරදැරිකොට ගෙනය.  
 
තම ජීවිතකාලයේ අවසාන භාගයේදී මෙසේ රෝගාබාධයන්ගෙන් අනවශ්‍ය ලෙස පීඩාවිඳි වාමාංශික දේශපාලන සහ වෘත්තීය සමිති ක්‍රියාකාරීන්ගේ පළමුවැන්නා ඇන්ටනි ප්‍රනාන්දු සහෝදරයා නොවේ. එමෙන්ම එසේ පීඩා විඳින අවසාන ක්‍රියාධරයාද ඔහු නොවන බව පිළිගැනීමට අපට සිදුව ඇත. 
 
ඇන්ටනි සහෝදරයා වැනි අය රැක බලා ගැනීමට අපට අපේම යාන්ත්‍රණයක් පැවතියේවීනම් ඔහු මෙලෙස දුක් නොවිඳිනු ඇත. මෙම රෝගී තත්වයන් මතුවීමට ටික කලකට පෙර අපට ඒවා පූර්ව විනිශ්චය කොටගතහැකි වීනම් ඇතැම්විට ඔහුගේ ජීවිතය බේරාගැනීමටද හැකිවන්නට තිබිණි. 
 
ඒ කෙසේ වුවද ප්‍රශ්න ගණනාවක් අපට ඉතිරිකර තබමින් ඇන්ටනි ප්‍රනාන්දු සහෝදරයා අප වෙතින් සමුගත්තේය. අද නැත්නම් හෙට හෝ මෙම ප්‍රශ්න වලට අප පිළිතුරු සොයාගතයුතු වෙමු. 
 
මෙවැනි රෝගාබාධයන්ගෙන් එම සහෝදරවරුන් තීරණාත්මක ලෙස පීඩා විඳින විට ඔවුන් රැකබලා ගැනීම සඳහා යාන්ත්‍රණයක් ගොඩනගා ගැනීම කිසිසේත්ම කල නොහැක්කක්ද? 
එබඳු යාන්ත්‍රණයක් අප විසින් ගොඩනගා ගන්නා තෙක් එවැනි සහෝදරවරුන් තව කී දෙනෙකුන් මෙසේ වේදනා විඳ මියයා යුතුද? 
එවැනි යාන්ත්‍රණයක් ගොඩනගා ගැනීම සඳහා මුලපිරිය යුත්තේ කවුරුන්ද? 
එවැනි යාන්ත්‍රණයක් නඩත්තුකිරීමේ හා පවත්වාගෙන යාමේ බර කවුරුන් විසින් දැරිය යුතුද? 
 
 - ඇන්ටනි සහෝදරයාගේ මිතුරන්
 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment