සීමා නිර්ණය ගැසට් පත්‍රය අත්හිටුවයි - ඡන්දය තව කල් යන ලකුණු


පළාත් පාලන ඇමැතිවරයාගේ සීමා නිර්ණ ගැසට් පත්‍රය මඟින් නිවේදිත පළාත් පාලන මැතිවරණ කොට්ඨාස නිර්ණය කර ඇති ආකාරයත් නියෝජිතවරුන් සංඛ්‍යාව නිර්ණය කර ඇති ආකාරයත්...සිය බලතල ඉක්මවා යමින් සිදුකොට ඇති බවට ඉදිරිපත්ව ඇති වාචකය සහේතුක බැව් බැලූ බැල්මට පෙනී යන හෙයින්, එකී
ගැසට් නිවේදනය අත්හිටුවමින් ඒ සම්බන්ධයෙන් ගොනුකොට ඇති පෙත්සම විභාගයට ගැනීමට තීරණය කළ බව අභියාචනාධිකරණය ඊයේ (22දා) ප්‍රකාශ කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු එල්. ටී. බී. දෙහිදෙණිය හා ශිරාන් ගුණරත්න, කුමුදිනී වික්‍රමසිංහ යන ත්‍රිපුද්ගල

අභියාචනාධිකරණ විනිශ්චය මණ්ඩලය විසින් මෙම තීරණය ප්‍රකාශයට පත්කරනු ලැබීය.

මැතිවරණ කොමසාරිස්වරයා විසින් ඉදිරි කාලයේදී පැවැත්වීමට සූදානම්ව සිටින පළාත් පාලන මැතිවරණය තවදුරටත් කල් දමා ගැනීමේ යටි අරමුණින් යුතුව එක්තරා කණ්ඩායමක් විසින් ඒ සඳහා ප්‍රයෝගකාරී ලෙස අධිකරණය යොදා ගැනීමට මෙම පෙත්සම ගොනුකොට ඇති බවත්, එබැවින් මෙම පෙත්සම විභාගයට නොගෙන ඉවත දමන ලෙසත් "පැෆරල් _ කැෆේ" ඇතුළු මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ ස්වේච්ඡා සංවිධාන කිහිපයක්ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර අනෙකුත් සියලුම ප්‍රධාන දේශපාලන පක්ෂද අධිකරණය හමුවට ඉදිරිපත් වී කරන ලද ඉල්ලීම්වලට (16 දින) ඉකුත් නඩු දිනයේදී සවන් දුන් අධිකරණය එම ඉල්ලීම් පිළිබඳව විනිශ්චය මණ්ඩලයේ තීන්දුව ලබාදීමට ඊයේ (22දා) දිනයට දින නියම කර තිබිණි.

මෙම පෙත්සම ඒ අනුව ලබන මස 04 වැනි දින විභාගයට ගැනීමට දින නියම කළ අභියාචනාධිකරණය පෙත්සමේ වගඋත්තරකරුවන් හට නොතීසි නිකුත් කිරීමටද නියෝග කළේය.

මහනුවර මහ නගර සභාව, කොළඹ මහ නගර සභාව, පඬුවස්නුවර ප්‍රාදේශීය සභාව, හාලිඇළ ප්‍රාදේශීය සභාව, ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාව, හා නුවරඑළිය - කොටපොළ ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන බල ප්‍රදේශවල ඡන්ද දායකයන් 06 දෙනකුගේ නම්වලින් මෙම පෙත්සම ඉකුත්දා (10දා) ගොනුකර තිබිණි.

ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න, ක්‍රිස්මාල් වර්ණසූරිය, සාගර කාරියවසම්, ශාන්ත ජයවර්ධන, සුනිල් වටගල, නිරෝෂ මුණසිංහ, 'පැෆරල්' විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, 'කැෆේ' විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් ඇතුළු අය මැදිහත් පාර්ශ්වකරුවන් ලෙස මෙම පෙත්සමට ඉදිරිපත් වීමට අභියාචනාධිකරණයට අයැදුම්කර තිබිණි.
සියලුම පාර්ශ්වකරුවන්ගේ ලිඛිත දේශන වෙතොත් ලබන මස (දෙසැ.) 04 දිනට පෙර ඉදිරිපත් කරන ලෙසද දින නියම කළේය.

කමල් මහේන්ද්‍ර වීරරත්න
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment