උන්ගේ අරක්කු උන්ටම ගහයිද ?

උන්ගේ අරක්කු උන්ටම ගහයිද ?
ඒ සමඟම වෙනදාට වඩා උනන්දුවකින් ඒ ගැන සිතන්නට ගම්වාසීන් පෙළඹෙනු දක්නට ලැබිණි.
 
විශේෂයෙන් බදුල්ල /බණ්ඩාරවෙල පැත්තේ මේ උනන්දුව ඉතා හොඳින් පෙනෙන්නට තිබේ.
 
එසේ වීමට ප්‍රධානම හේතුවක් වන්නේ උමාඔය ව්‍යාපෘතිය නිසා ඒ පැත්තට ඇතිවු බලපෑමත් පසුගිය ජූලි 28 වෙනිදා බණ්ඩාරවෙල ජනතාව දහස් ගණනින් ඊට එරෙහිව නැගීසිටීමත් කීවොත් නිවැරදියි.
 
මෙතෙක් තම තමන්ගේ බලකොටු ලෙස මේ ප්‍රදේශය ගම්මාන බෙදාගෙන සිටි එක්සත් ජාතික පක්ෂයත් මහින්ද සමඟින් නැගිටින සහ සාම්ප්‍රදායිකව බලය ඇති නායකයා සමඟ යන කණ්ඩායම් ලෙස දෙකට බෙදී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මේ වනවිටත් තම තම බලකොටු තුලට වෙනත් බලයක් රිංගා ඇති බව තේරුම් ගෙන ඇති සෙයකි.
 
සමන්ත විද්‍යාරත්න ප්‍රමුඛ ප්‍රදේශයේ මහා සංඝරත්නයත් හීල් ඔයේ වසන්ත සංජීව, එච්. එම්. බෝධිපාල, ලලිත් විජේසුන්දර  වටගමුවේ සුජීවා රත්නසිංහ සහ දිසානායක වැනි උමාඔය සුරැකීමේ සංවිධානය වටා රොක්වූ  අනෙකුත් ප්‍රාදේශීය නායක නායිකාවනුත් කිණිගම අසංක රත්නායක  සහ මධුර උඩුවරගෙදර වැනි ස්වෙච්චාවෙන්ම සමන්තලාගේ ගමනට සවියක් එක් කල තරුණ කණ්ඩායම් නිසාත් බණ්ඩාරවෙල ජනතාව පෙළන ප්‍රධානම ගැටලුව ලෝකය පුරා කතා බහට ලක්වෙන්නක් බවට පත් වුණා.
 
ජුලි 28 බණ්ඩාරවෙලට ජනගඟක් ගැලුවේ මේ හැමෝගෙම උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසයි. මේ දෙස ඉතා උනන්දුවෙන් බලා සිටි එ.ජා. ප. සහ දෙකට බෙදුනු ශ්‍රී.ල.නි. ප කණ්ඩායම් තම තමන් ඉදිරි චන්දයකදී ඉතාම අවාසි සහගත තත්ත්වයකට වැටෙන බවතේරුම් ගත්තා.
 
ඒ අනුව ඔක්තෝබර් 14 වෙනිදා පොහොට්ටුවේ කට්ටිය අපේ ගමේ වැඩට බැස්සා.
 
ඒ තරුණයින්ට තැන දෙනවා කියමින්  ගමේ තරුණ වයසේ පසුවන අයෙක් ප්‍රාදේශීය සභා චන්දෙට ඉදිරිපත් කරනවා කියමින්.
 
රැස්වීමට ලොකු සෙනඟක් හිටියේ නැතත් ප්‍රදේශයට මෙතරම් හානියක් කල නායකයෙකුගේ නම යටතේ ගමතුලට චන්ද ව්‍යාපාරයක් ගෙන ඒම ගැන සාධාරණව සිතන පිරිස් උරණ වූ බව සැලයි.
 
"උඹලා අපේ ගම පාවාදෙන්න වැඩ කරනවා මල්ලී .උඹලාට ලැජ්ජා නැද්ද ?
 
මෙච්චර විනාශයක් වෙලා තියෙද්දි අපේ ගමට පොහොට්ටු ගෙන්වන්න ?
 
කරුණාකරලා  ඔය වැඩේ නවත්තපන්"
 
යැයි එවැනි අයෙකුගේ මුවින්  පිට වුණේ ඒ නිසයි.
 
මේ අතර ගිය සතියේ දවසක මෛත්‍රී පිළේ කට්ටිය වෙනුවෙන් බණ්ඩාරවෙල හිටපු ශ්‍රී ලනි ප මන්ත්‍රී දොස්තර පුෂ්පකුමාර අපේ ගමට ආවා.
 
"මහඇමති තුමාත් මමත් ඔයාට සම්පූර්ණ සහයෝගය දෙනවා පුතා "
 
කියමින් ඔහු අපේ ගමේ තවත් තරුණයෙක් ඔවුන්ගේ පිළෙන් චන්දෙට තෝරා ගත් බව පැවසුවා.
 
එදා දොස්තර වරයාගේ මුහුණටම වාග් ප්‍රහාරයක් එල්ල කෙරුණේ අපේ ගමේ සිටි සාධාරණව සිතන තවත් අයෙක් අතින්.
 
"ඩොක්ටර් ලා දැන් හදිස්සියේ අපේ චන්දේ ඉල්ලගෙන ආවාට අපේ ගමට කිසි වැඩක් කලේ නෑනේ?
 
ඔච්චර කාලෙකට අපිට කරල දුන්න එක දෙයක් කියන්න.."
 
අපේ ගමේ  "පොඩ්ඩෙ අය්යා " මෛත්‍රී පිළේ නියෝජිතයාගෙන් විමසා සිටියා.
 
දොස්තර වරයා පැමිණි නිවස අසලම පිහිටි ඔවුන්ගේ පැත්තටම සහයෝගය දක්වන වෙලඳ සැලක් පිටිපස්සෙත් "මල්, බාබුල් ආදී ව්‍යාපාරයක්" ජයටම කෙරෙනවාලු. 
 
මේ ව්‍යාපාර සියල්ල හරහා ගමේ හැදෙන වැඩෙන තරුණ තරුණියන් ජයටම නොමඟට යවන අතරේ ඉන් එක් අයෙක්  චන්ද අපේක්ෂයෙක් ලෙස තෝරා ගැනීමම අපට නම් පෙනෙන්නේ දෛවයේ සරදමක් ලෙසයි.
 
මේ අතර රෑට රෑට අපේ ගමේ තරුණ පිරිස් එකතුකර අරක්කු පොවන අයෙක් ගැනත් ආරංචි වෙනවා.
 
පාරම්පරික ශ්‍රී ලංකා කාරයෙකු වන මොහු පොහොට්ටුවට වඩා මෛත්‍රී පිළට සමීප බවයි කියැවෙන්නේ.. 
 
එහෙත් මෙවැනි චරිත හැරෙන්නේ කොහාටද යන්න තීරණය වන්නේ බලය වැඩි පුර දෝලනය වෙන පැත්ත එළි වීමත් සමඟ බව ඉතිහාසය විසින් පෙන්නුම් කර තිබෙන සත්‍යයක්.. 
 
මේ අරක්කු සාද කාරයා වගේම කලින් කිව් පොහොට්ටු කාරයන් ඉන්න පැත්තේත් වෙනස් ආකාරයක "මල් ගැසීමේ"  ව්‍යාපාරයක්  දියත් වෙනවා. 
 
මේ කියන "මල් පොට්" එක පවත්වාගෙන  යන්නේ පසුගිය චන්ද වලදී එක්සත් ජාතික පක්ෂ  රැස්වීම් මෙහයවූ අයකුගේ කඩයක් පිටිපස්සේ කියලයි ආරංචි.
 
ඒ අනුව මල් ගහන  කණ්ඩායම සහය දෙන්නේ එජාපයටද  පොහොට්ටුවටද දෙකටමද යන්න පැහැදිළි නෑ .
 
මේ මල් , පොහොට්ටු සහ අරක්කු සාද පවත්වන්නන් සියලු දෙනාම අවුරුදු පනහ-හැට පනපු කොලු තාත්තලා වන අතර තමන් මේ දැන දැනම අමාරුවේ දමන්නේ ගමේ අනාගතය ( අපේ වත්මන් තරුණ පරපුර ) බව  මේ අය ගනණකට ගන්න බව පෙනෙන්නට නැහැ.
ගමේ සහ රටේ අවාසනාවට දෝ මේවා දකින යමක් කමක් වැටහෙන වැඩිහිටියන් හෝ විශේෂයෙන් ගමේ මව් වරු  හෝ මේ කටයුතු වලට විරුද්ධ වෙන්නෙත් නෑ.
 
මේ අතර  උමාඔය ගැටලුව ගැන තවමත් නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කරන එජාප ය චන්දරේ නම් අයෙක් අපේ පැත්තෙන් පළාත් පාලන චන්දයට නම් කල බව සැලයි.
 
පුංචි චන්දයට පාරම්පරික පාක්ෂිකයින් මෙසේ පෙළ ගැසෙද්දි ජූලි 28 බණ්ඩාරවෙල හෙල්ලු බලවේගය තවමත් අනුගමනය කරන්නේ නිහඬ පිළිවෙතක්.
 
උමාඔය සටනේ පෙරමුණ ගත් සමන්ත විද්‍යාරත්න ප්‍රමුඛ කණ්ඩායම කරන්නේ කුමක්දැයි අපේ ගම් පළාතේ ජනතාව ඉතා  උනන්දුවෙන් බලා සිටිනවා..
 
අරක්කු සාද , රැකියා පොරොන්දු , සෙවිලි තහඩු ආදී චන්ද ගුංඩු බණ්ඩාරවෙල අවට සැරිසරද්දී සමන්තලා තවම නිහඬයි.
 
අප හා කතා කරන බොහෝ තරුණ පිරිස්
 
උමා ඔය සුරැකීමේ සංවිධානය හා සමන්තලා  පළාත් පාලන චන්දයට එයිද ?
 
එන්නේ ජවිපෙන්ද නැද්ද ?
 
යන්න ගැන උවමනාවෙන් බලා සිටින බව පෙනෙනවා.
 
එහෙම වුණොත් පාරම්පරික "අරක්කු පොවන, මල් ගස්වන " කල්ලි අමාරුවේ වැටෙන්න ඉඩ තියෙනවා.
 
"උන්ගේ අරක්කු උන්ටම ගහයිද? "
 
 අපි බලා සිටිමු. 
 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment