රනිල් ඉල්ලා අස් විය යුතු ද ?

රනිල් ඉල්ලා අස් විය යුතු ද ?
මහරාජා රූපවාහිනී චැනල විසින් පාළු ගෙයක මයික් ටිකක් ඉදිරියෙන් තබා පවත්වන සෙනග නැති මාධ්‍ය සංදර්ශන ඔස්සේ පුම්බනු ලබන පෞරුෂයන්ගේ හිස්කම එසේ වීමට ප්‍රධාන හේතුවයි. සිරසට අහු වී තිබෙන කට්ටිය ඔක්කොම එක ම ජාතියේ අදක්ෂයන් පිරිසකි. සිරසට දක්ෂයන් අවශ්‍ය නැති බව එයින් පෙනේ. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ ඔවුන්ගේ ව්‍යාපාරික හා බල උවමනාවන් වෙනුවෙන් නැටවෙන ඉත්තන් පිරිසක් පමණක් විය හැකි ය. ඔවුන් හමුවේ රනිල්ට ගේමක් තිබුණේ නැත. සිරස ඇත්තෙන් ම කිව්වොත් නන්නත්තාර ය. ඔච්චර නටලාත් සිරසට රනිල් පන්නන්නට බැරි විය. 
 
රනිල්ට බැඳුම්කර කොමිසම ඉදිරියේ පෙනී සිටින්නට සිදු වීම නිසා දැන් මේ ඉල්ලා අස් වෙන්නට බල කිරීම තීව්‍ර කර තිබේ. රනිල් ඉල්ලා අස් විය යුතු ද?
 
පිළිතුර නැත යන්නයි. 2015 ජනවාරි 8 වෙනස වෙනුවෙන් ඡන්දය දුන් 62 ලක්ෂය මෛත්‍රීපාල ජනාධිපතිවරයාටත්, වික්‍රමසිංහ අගමැතිවරයාටත් පවරන ලද වගකීම් සම්භාරයක් තිබේ. ඔවුන් එ්වා ඉටු කළ යුතු ය. ඒ වෙනුවෙන් 2020 වන තෙක් වැඩ කළ යුතු ය. එය ඔවුන්ගේ වැඩකට වඩා අපේ වැඩකි. කුමන අඩුපාඩු මධ්‍යයේ හෝ රටේ 2015 සිට සිදු වන ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සාකච්ඡාව සහ විශේෂයෙන් ම ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට යා යුතු ය. රජයේ 2025 ආර්ථික දැක්ම 2020 දක්වා හෝ ඉදිරියට ගෙන යාමේ වගකීමක් මෛත්‍රීටත්, රනිල්ටත් තිබේ. ඔවුන් එය කළ යුතු ය. අප ඔවුන්ගෙන් එය ඉටු කරවා ගත යුතු ය. 
 
බැඳුම්කර සිද්ධිය වංචාවක් නම්, කොමිෂමෙන් පසු වැරදිකරුවන්ට එරෙහිව තරාතිරම නො බලා අධිකරණයේ නඩු පැවරිය යුතු ය. රනිල් වැරදි නම් රනිල්ට ද නඩු පැවරිය යුතු ය. මේ නඩු විභාග ද දේශපාලකයන්ගේ හා නිලධාරීන්ගේ සෙසු වංචා සහ දූෂණ සම්බන්ධ නඩු අසන්නට පත් කරනු ලබන අධිකරණයේ ම ඇසිය හැකි ය. ඒවාට වඩා මේවා ඉක්මණ් කළ යුතු හෝ මන්දගාමී කළ යුතු හෝ නැත. අනු පිළිවෙලින් නඩු ඇසිය යුතු ය. 
 
නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින රාජපක්ෂ පිල්ලිවලට අවශ්‍ය පරිදි නඩු ඇහෙන ක්‍රමය වහා වෙනස් කළ යුතු ය. 
 
බැඳුම්කර වංචාවෙන් රජයට පාඩු වූවා නම් ඒ මුදල් ආපසු අය කර ගත යුතු ය. ඒ සමගම, රාජපක්ෂලාගේ සල්ලිවලින් බිස්නස් කරන බව කියන ලොකුවිතාන වැනි අය විනාශ නො කළ පරිද්දෙන් ම බැඳුම්කර සල්ලිවලින් බිස්නස් කරන ඇලෝසියස් ද විනාශ නො කළ යුතු ය. මතක තබා ගත යුතු කාරණය වන්නේ ලාභ ලැබීම ව්‍යාපාරිකයන්ගේ වගකීමක් මිස වරදක් නො වන බව ය. 
 
ජනාධිපති කොමිසමේ වැඩිපුර ම තිබෙන්නේ මාධ්‍ය සංදර්ශන ය. දේශපාලකයන්ගේ රෙදි ගැලවීමෙන් චූන් වන්නට පුළුවන් බව ඇත්ත ය. එහෙත්, දේශපාලකයන් හොරුන් බව සහ මෙවැනි ජාවාරම්කරුවන් සමග අත යට ගනුදෙනු කරන බව අලුත් සොයා ගැනීමක් නො වේ. මෙතන සිදු වුණේ ඒ රහස් නාට්‍යමය ස්වරූපයෙන් දිගහැරීම පමණි.
 
රාජපක්ෂලා ගැන මෙවැනි කොමිෂමක් පත් කර ඔය ටික කරන්නට හෝ මේ ආණ්ඩු පාණ්ඩුව සමත් වූයේ නැත. මුන් ආණ්ඩු කරද්දීත් රාපක්ෂලාගේ සියඹලාණ්ඩුව රජය පාලනය කරයි.
 
එහෙත්, මේ මාධ්‍ය සංදර්ශන ගැනත් කියන්නට තිබෙන්නේ කෝප් කමිටු වාර්තාව ගැන අප කී දේ ම ය. අභ්‍යන්තර රහස් පිටවීමක් සිදු වූ බවට පැහැදිලි සංයුක්ත සාක්ෂියක් සොයා ගන්නට බැරි වෙන්නේ නම් ඔය විමර්ශනයෙන් ද කිසිදු පලක් නැත. අවසානයේ එය රටට විනෝදය සැපයූ කොමඩියක් පමණක් වන්නට බොහෝ දුරට ඉඩ තිබේ. ඔය දැන් හෙළිදරව් වන ඒවා වනාහි සියලු දේශපාලකයන් සම්බන්ධයෙන් සාමාන්‍ය තොරතුරුවලට වැඩි දෙයක් නො වේ. 
 
රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් මස් රාත්තල ඉල්ලන අයට අප කියන්නේ මෙයයි. රනිල් හිරේ නොව එල්ලුම් ගස් ඇර ගත්තත් අපට නම් කමක් නැත. හැබැයි, ඕනෑවට වඩා හදිසියක් අවශ්‍ය නැත. රනිල් වෙනුවෙන් විකල්පයක් ගොඩනගා ගන්නට අපට කාලය අවශ්‍ය ය. අනෙක් පැත්තෙන් අප ඔහුට පැවරූ වගකීම තවම අවසන් නැත. 
 
එසේම, හැට දෙලක්ෂයේ අපි අපේ වැඩේ කර ගන්නට අපට අවශ්‍ය නම් රනිල්ව ම නැවත පාවිච්චි කරන්නටත් පසුබට නො වන බව ද මතක් කළ යුතු ය. ඒකට අවශ්‍ය නම් රනිල්ට සමාව දෙන්නට වුව ද අපට ගැටලුවක් නැත. 
 
එහෙම කොහොමදැයි අහන පොදු ජන පෙරමුණේ අය ගිහින් හෙල්පිං හම්බන්තොට කේස් එකෙන් මහින්ද බේරුණේ කොහොමදැයි බලා ගන්න. (ඒකෙන් මේක තේරෙන්නේ නැතිනම් කියන්න. තව ඕනෑ තරම් උදාහරණ දිය හැකි ය.)
 
එහෙම කොහොමදැයි අහන ජනතා විමුක්ති පෙරමුණ 1989 කැරැල්ල සම්බන්ධයෙන් සෝමවංශ අමරසිංහට නඩු පැවරුණේ නැත්තේ මන්දැයි මතක් කර ගන්න.
 
එහෙම කොහොමදැයි අහන පෙරටුගාමී සමාජවාදී පක්ෂය කුමාර් ගුනරත්නම් නොයෙල් මුදලිගේ වූ ආකාරය හා යළි කුමාර් ගුනරත්නම් වූ ආකාරය ගැන තිබෙන නඩු නො පැවරුණු ජාත්‍යන්තර නීතිමය ගැටලු ටික ඔහුගෙන් ම අසා ගන්න.
 
එහෙම කොහොමදැයි අහන ඊනියා සිවිල් සමාජය ශිරානි බණ්ඩාරනායකගේ අයින් කර ගත් මුල්‍ය වංචා කේස් ටික නැවත අධ්‍යයනය කර බලන්න. 
 
එහෙම කොහොමදැයි අහන අති වාමාංශිකයන් ඔවුන්ගේ කොටි සංවිධානයේ ප්‍රභාකරන්ගෙන් පසු නායකයා වූ කේපී ගැන සිහිපත් කර ගන්න. 
 
ලොක්කන්ට එහෙම වුණාට පොඩ්ඩන්ට මෙහෙමයි කියන ඊනියා සුචරිතවාදීන් ගමේ අපරාධකරුවන් කීදෙනෙකු හිරේ ඉන්නවාදැයි බලන්න.
 
නීතිය ඉදිරියේ සියල්ලන් සමාන වුණාට ඇතැමුන් වැඩිපුර සමාන බව තේරුම් ගන්නට ඉහත උදාහරණ ටික ප්‍රමාණවත් ය. 
 
රනිල් ද එවැනි වැඩිපුර සමාන වීමට සුදුස්සෙකි. යහපාලනය මේක ද අහන අයට කියන්නට තියෙන්නේ මෙච්චර ය. අප කරන්නේ යහපාලනය නො වේ. දේශපාලනය ය. යහපාලනය ඇති කළ හැක්කේ නිවැරදි දේශපාලනයෙන් පමණි. 
 
ආණ්ඩුවට අප කියන්නේ ඇඹරුණා ඇති ය. දැන්වත් වැඩ කළ යුතු ය. 
 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment