පොලිස්පති බියගම විලේජ් මිනීමරුවන් නිදහස් කිරීමේ නින්දිත වෑයමක !

පොලිස්පති බියගම විලේජ් මිනීමරුවන් නිදහස් කිරීමේ නින්දිත වෑයමක !

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළිදරව් කරගෙන ඇති කරුණු අනුව මෙම ඝාතනයට හේතු වී ඇත්තේ දේපොළ ආරාවුලකි. 2012 පෙබරවාරි 20 වනදා බර්නාඩ් ජයරත්න ඝාතනයට ලක් වූයේ දොම්පේ ප්‍රදේශයේ පිහිටා ඇති ඔහුට හිමි වත්තකදීය. ඔහුගේ පුත්‍රයා වන සුරංග ජයරත්න විසින් දුන් කොන්ත්‍රාත්තුවකට අනුව ඝාතකයින් විසින් ඔහුව කපා කොටා ඝාතනය කර තිබිණි. සුරංගගේ සැලසුම වී තිබුණේ මෙම ඝාතනයෙහි වගකීම අදාල වත්තේ මුරකරු පිට පැටවීමටයි. ඊට සාක්ෂි ලෙස යොදවාගෙන තිබුණේ වත්තේ සේවය කළ කාන්තාවන් දෙදෙනෙකි.

ඝාතනයේ පරීක්ෂණ නොමඟ යැවීම සඳහා සුරංග ජයරත්න විසින් එවකට කොළඹ අපරාධ කොට්ටාශය භාර කුප්‍රකට ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකව සම්බන්ධ කරගෙන තිබුණු අතර ඔහු විසින් මීට සහායට තමන්ගේ හෙංචයියකු වන ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ ජ්‍යේශ්ට පොලිස් අධිකාරී විමලසේනව හඳුන්වා දී ඇත. ජ්‍යේෂ්ට පොලිස් අධිකාරී විමලසේනගේ ගෝලයින් විසින් මඩකළපුවෙන් ගෙනා ක්ලේමෝ බෝම්බ අදාල වත්තේ වළ දමා එහි වගකීම ද වත්තේ මුරකරුට පැවරීමට කටයුතු කර තිබිණි.

බර්නාඩ් ජයරත්න ඝාතනයට ලක් වූ වත්තේ සේවය කළ කාන්තාවන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ටාශයට ගෙන්වූ අනුර සේනානායක ඇතුළු කුමන්ත්‍රණකාරීන් පිරිස ඉන් පසුව කර ඇත්තේ පොලිස් පරීක්ෂකවරයකු යොදවා ඔවුන්ට අවශ්‍ය පරිදි කට උත්තරය ලියවීමයි. කාන්තාවන් දෙදෙනා ද පොලිස් පරීක්ෂකවරයා පැවසූ පරිදි ම මුරකරු විසින් කපා කොටා බර්නාඩ් ජයරත්න මහතා මැරූ බවට කට උත්තරය ලබා දී ඇත.

එහෙත් කුමන්ත්‍රණකරුවන්ගේ සැලසුම් අවුල් වූයේ බර්නාඩ් ජයරත්න මහතාගේ එක් දියණියක් දිගින් දිගට ම මේ ඝාතනය ගැන සොයා බැලූ නිසාය. ඇයට සැක සහිත කරුණු ලැබුණු පසුව ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොස් පැමිණිල්ලක් කරන්නේ වහාම මේ ඝාතනය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් පවත්වන ලෙසයි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිද්ධිය සම්පූර්ණයෙන් ම අනාවරණය කරගෙන සාක්ෂි දුන් කාන්තාවන් දෙදෙනා ද කැඳවා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වන වගන්තිය යටතේ පාපොච්චාරණයක් ද ලබාගෙන තිබුණු අතර අත් අඩංගුවේ පසු වූ අනුර සේනානායක ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ද ප්‍රකාශයක් ලබාගෙන තිබිණි.

මෙම අපරාධය සම්බන්ධ සියළුම කරුණු අනාවරණය කරගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුව වෙත යවා ඉතාම පැහැදිලි නඩු විභාගයක් සඳහා කරුණු සූදානම් කර තිබියදී පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් පොලිස් විශේෂ විමර්ශන ඒකකය යොදවා නැවතත් විමර්ශනයක් දියත් කරවා ඇත. මෙහි අරමුණ වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළිදරව් කර ඇති අනුර සේනානායක ඇතුළු අපරාධකරුවන්ව බේරාගැනීම බව පැහැදිලිය. සුරංග ජයරත්න ඇතුළු කුමන්ත්‍රණකරුවන් පොලිස් විශේෂ විමර්ශන ඒකකයට අල්ලස් ලබා දී බේරීමේ අරමුණෙන් පසුවෙති.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපති දෙපාර්තමේන්තුවට ලබා දුන් උදෘත අනුව සැකකරුවන්ට අධිචෝදනා ගොනුකිරීම පොලිස්පතිවරයා විසින් විශේෂ විමර්ශන ඒකකය යෙදවීම නිසා දැන් වැළකී තිබේ. එකම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කණ්ඩායම් දෙකක් විසින් නීතිපති දෙපාර්තමේන්තුවට උදෘත යැවූ විට වන්නේ නීතිපති දෙපාර්තමේන්තුව වික්ෂිප්ත වීමය. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වන වගන්තිය යටතේ වත්තේ සේවය කළ කාන්තාවන් දෙදෙනා විසින් පොලිස් කුමන්ත්‍රණය පිළිබඳ සම්පූර්ණ තොරතුරු ද හෙළිකර තිබියදී පොලිස්පතිවරයා දැන් වෑයම් කරන්නේ අනුර සේනානායක සහ ඔහුගේ හෙංචයියන් ඇතුළු සුරංග ජයරත්නගේ කුමන්ත්‍රණකරුවන් බේරා හැරීමටය.

පොලිස්පතිවරයාගේ කෙළවරක් නොමැති විකාර පිළිබඳව අපි දිගින් දිගටම හෙළිදරව් කර ඇත්තෙමු. පොලිස්පතිවරයා මේ සූදානම් වන්නේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය යොදවා මින් ඉදිරියටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටයුතු අවුල් කිරීමේ පළමු පියවර තැබීමටය. මෙතෙක් කල් භාවනා වැඩසටහන් වලින් විකාර නැටීමෙන් පූජිත් ජයසුන්දර කළේ රටක් ඉදිරියේ පොලීසිය හෑල්ලුවට ලක්කිරීම සහ විහිළුවට ලක් කිරීමය. දැන් පූජිත් සූදානම් වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉහළින් පොලිස් විශේෂ විමර්ශන ඒකකය යොදවා අපරාධකරුවන් බේරා හැරීමටය. පොලිස්පතිගේ දහසකුත් එකක් විකාර ඉවසා වදාරණ බලධාරීන් දැන් හෝ ඔහුට එරෙහි නොවන්නේ නම් සිදුවනු ඇත්තේ රටපුරා අපරාධකරුවන් නිදැල්ලේ යාමය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment