මියැසි රජවරුන්ගේ ස්වර්ග රාජ්‍යයේ හමුව

මියැසි රජවරුන්ගේ ස්වර්ග රාජ්‍යයේ හමුව
එක පුටුවකය මධුවිත  සෝඩා සමග
කටගැස්මකුත් අසුනේ ඇත රස පහස
යුගයේ මියැසි විරුවන් එක්වූ දිනෙක
වැඩ වැරදුනොත් බේසමකුත් ඇත අසල
 
මෙම ඡායාරූපයේ වම් කෙළවර සිටින්නේ ගායකයෙකු මෙන්ම නළුවෙකුද වූ නවනන්දන විජේසිංහයන්ය. ඊළඟට සිටින තැනැත්තා පැහැදිලි නැතත් ඔහු අසල සිටින්නේ ශ්‍රී ලාංකේය ගීත කලාවේ 'මධුමල' ලෙස ප්‍රකට මිල්ටන් මල්ලවආරච්චි ගායකයාණන්ය. ඔහු අසල සිටින අනෙක් තැනැත්තා තවමත් අප අතර සිටින ප්‍රවීන මෙන්ම ජ්‍යෙෂ්ඨ නිවේදක ධර්ම ශ්‍රී වික්‍රමසිංහයන්ය. නව පුරපුරේ ජනප්‍රිය ගායිකා උරේෂා රවිහාරි ඔහුගේ දියණියයි.
 
අකාලයේ නික්ම ගොස් මේ වසරට වසර 30 ක් ගෙවුනද තවත් වසර 50 කටවත් නොමියෙන හඬක් ඇති එච්.ආර්. ජෝතිපාලයාණන් ඔහුව අකලට අපෙන් ඩැහැගෙන ගිය මීවිත අසලින්ම වාඩිගෙන සිටී. ඔහු අසල සිටින අනෙක් තැනැත්තා ශ්‍රී ලංකාවේ 'බයිලා චක්‍රවර්ති' එම්.එස්. ප්‍රනාන්දු ගායකයාණන්ය. ඔවුන් දෙදෙනා අසලින් සිටගෙන සිටින තැනැත්තා සිංහල සංගීතයේ අපරිමිත දක්ෂතා දැක්වූ‍, එමෙන්ම ඉතාමත් නිහතමානී මිනිසෙකු වූ සංගීතඥ පැට්‍රික් දෙනිපිටියයන්ය. ඔහුගේ පුත් මහේෂ් දෙනිපිටිය අද විශද කරමින් සිටින්නේ සිය පියාගෙන් ලද සහජ උරුමයයි.
 
මෙහිදී සඳහන් කළයුතු විශේෂ කරුණ වන්නේ මෙම ඡායාරූපය අපවෙත එවූ තැනැත්තා සඳහන් කර සිටියේ මෙවන් දෑ විඳිය හැකි රසවතුන් අද මියගොස් ඇති බවයි. එය සැබෑවක් බව අපද පිළිගන්නෙමු. මන්ද යත් ජීවත් වෙමින් මියගොස් සිටින්නේ අප වැන්නවුන් මිස ජෝති, එම්එස්, මිල්ටන්, පැට්‍රික් වැන්නවුන් නොවේ. ඔවුහු සදාකාලිකවම අප අතර ජීවත් වන්නවුන් වෙති.
 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment