කැලි‍ෆෝනියාවේ බර්ක්ලි විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරවේද පාසලක් ගම්පහට.


දැනුම පදනම් කරගත් ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත් කරමින් කඩිනම් ආර්ථික වර්ධනයක් ළඟා කරගැනීම සඳහා නව්‍ය හා තිරසර ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව රජය විසින් හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, මෙරට ශ්‍රම බලකායේ ගුණාත්මකභාවය නංවාලීම උදෙසා අවශ්‍ය දැනුම හා වෘත්තීය නිපුණත්වය ලබා දීම සඳහා ලොව පිළිගත් ඉංජිනේරු විද්‍යා පාසලක් හා ව්‍යාපාරවේද පාසලක් ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ.

මේ සඳහා ලොව කීර්තිමත් විශ්වවිද්‍යාල සමඟ පවත්වන ලද සාකච්ඡාවන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් ව්‍යාපාරවේදය පිළිබඳ පාසලක් ලාභ ලැබීමේ අරමුණකින් තොරව ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ, කැලි‍ෆෝනියාවේ බර්ක්ලි විශ්වවිද්‍යාලය විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. යෝජිත ව්‍යාපාරවේද පාසල ඉන්දියානු සාගර කලාපීය කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථාපිත කිරීමට එම විශ්වවිද්‍යාලය බලාපොරොත්තු වේ. දක්ෂතාවන්ගෙන් හා කුසලතාවන්ගෙන් පිරිපුන් නමුත් ආර්ථික දුෂ්කරතා සහිත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද මෙහි අධ්‍යයන අවස්ථා විවර කෙරෙනු ඇත.

මෙම ව්‍යාපාරවේද පාසල ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති අතර, එහි මූලික සැලසුම් කටයුතු සඳහා පහසුකම් සැලසීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා; උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment