උද්වේගකර අවසානයක් සමග නිදහසේ කුසලානය ඉන්දියාවට

උද්වේගකර අවසානයක් සමග නිදහසේ කුසලානය ඉන්දියාවට
ඉන්දීය පිළිතුරු ඉනිමේ අවසන් පන්දුවාර කිහිපය වනවිට බංග්ලාදේශ කණ්ඩායම කුසලානයට සමීප වෙමින් සිටි අතර ඉන්දියාවට ජයග්‍රහණය කිරීම සඳහා පන්දුවාර 02 කදී ලකුණු 35 ක් ලබාගැනීමට තිබිණි. 18 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේදී මනිෂ් පාන්ඩේ දැවීයාමෙන් අනතුරුව පිටියට පිවිසි දිනේෂ් කාර්තික් 19 වැනි පන්දුවාරයේදී රුබෙල් හොසේන්ට පිට පිට පහර එල්ල කරමින් ලකුණු 22 ක් ලබාගැනීමට සමත් විය. 
 
අවසන් පන්දුවාරයේදී ඉන්දියාවට ලකුණු 12 ක් අවශ්‍ය තිබූ අතර පන්දු යැවී සෞම්‍ය සර්කාර් පළමු පන්දු ලකුණු 07 ක් ලබාදෙමින් එක් කඩුල්ලක් දවාගැනීමට සමත් වූයේ ඉන්දියානුවන්ට එක් පන්දුවක් තුළ ලකුණු 05 ක් රැස්කර ගැනීමේ අභියෝගය ලබා දෙමිනි. ඉන් අනතුරුව නැවත ක්‍රියාත්මක වූ දිනේෂ් කාර්තික්ගේ පිත්තේ වැදුණු පන්දුව කවර් කලාපයට ඉහළින් පියඹා ගියේ ඉතිහාසය අලුතින් ලිවීමට බංග්ලාදේශ කණ්ඩායට තිබූ මනරම් අවස්ථාව උදුරා ගනිමිනි.
 
තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායකයා මුලින් පන්දු යැවීම තෝරාගත් අතර බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 කට ලකුණු 166 ක් රැස් කිරීමට සමත් විය. ෂබීර් රහ්මන් ලකුණු 77 ක් වාර්තා කළ අතර සෙසු පිතිකරුවන්ගෙන් ලකුණු 20 සීමාව ඉක්මවා යාමට සමත් වූයේ, පෙර තරගයේදී ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ සිහිනය සුන් කළ මහ්මදුල්ලා (21) පමණි.
 
පන්දු යැවීමේදී යුෂ්වේන්දර් චහාල් සිය පන්දුවාර 4 අවසන් කළේ ලකුණු 18 කට කඩුලු 03 ක් දවා ගනිමිනි. ජයිදේව් උනඩ්කට් කඩුලු දෙකක් සහ වොෂින්ටර් සුන්දර් එක් කඩුල්ලක් බිඳහෙළූහ.
 
පිළිතුරු ඉනිම ඇරඹූ ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුලු දෙක ලකුණු 32 ක් තුළ බිඳවැටුණු අතර ඉන්පසු රෝහිත් ෂර්මා සහ ලෝකේෂ් රාහුල් තෙවන කඩුල්ලට ස්ථාවර ලකුණු 51 ක සබඳතාවයක් පිහිටවූහ. රාහුල්ගේ (24) සහ ෂර්මාගේ (56) දැවීයාමෙන් අනතුරුව බංග්ලාදේශ කණ්ඩායමේ ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු ඉහළ ගියද දිනේෂ් කාර්තික් අවසන් පන්දුවාර කිහිපයේදී පෙන්නුම් කළ ගිනිකෙළි සන්දර්ශනය හේතුවෙන් බංග්ලාදේශ ක්‍රීඩකයන්ට ප්‍රධාන පෙළේ තුන්කොන් තරගාවලියක ජයග්‍රහණයේ පහස විඳගැනීමට තවත් කාලයක් බලා සිටීමට සිදුවිය.
 
හයේ පහර තුනක් සහ හතරේ පහර දෙකක් සමගින් පන්දු 08 කදි ලකුණු 29 ක් ලබා ගනිමින් නොතිබූ ජයක් සිය කණ්ඩායමට හිමිකර දුන් දිනේෂ් කාර්තික් අවසන් තරගයේ වීරයා සම්මානය හිමිකර ගත් අතර තරගාවලිය පුරා 14.25 ක සාමාන්‍යයක් සහිතව කඩුලු 08 ක් දවාගත් ඉන්දීය නවක ක්‍රීඩක වොෂින්ටර් සුන්දර් තරගාවලියේ වීරයා සම්මානය හිමිකර ගත්තේය.
 
පෙරේදා පැවති බංග්ලාදේශ-ශ්‍රී ලංකා තරගය අවසානයේදී බංග්ලාදේශ ක්‍රීඩකයන් පෙන්නුම් කළ නොමනා හැසිරීම් හේතුවෙන් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් අවසන් තරගයේදී ඉන්දීය කණ්ඩායමට සහයෝගය දැක්වූ අතර එය ඉන්දීය ජයග්‍රහණය යම් මානසික තල්ලුවක් වන්නට ඇත. තරගය අවසානයේදී ඉන්දීය නායක රෝහිත් ෂර්මා ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් අගය කරමින් අදහස් දැක්වූ අතර ඔහු සඳහන් කළේ ඔවුන් තම කණ්ඩායමට විශාල සහයෝගයක් ලබාදුන් බවයි.
 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment