ඇප කොන්දේසි කඩ කළ පුත්තලම මන්ත්‍රී රක්ෂිත බන්ධනාගාරයට

ඇප කොන්දේසි කඩ කළ පුත්තලම මන්ත්‍රී රක්ෂිත බන්ධනාගාරයට

මෙසේ රක්ෂිිත බන්ධනාගාර ගත කර ඇත්තේ පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුරුගමගේ සනත් නිශාන්ත පෙරේරා සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයකු වන කුරුගමගේ ජගත් සමන්ත පෙරේරා යන දෙදෙනාය. ජගත් සමන්ත පෙරේරා යනු ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රිවරයෙකු ලෙස කටයුතු කිරිමට නම් කර ඇති මන්ත්‍රීවරයෙකි.

2007 නොවැම්බර් මස 8 වන දින හෝ ඊට ආසන්න දිනයක දි හලාවත මහාධිකරණ බල සීමාවේ රාජකඳඵව කරුක්කුලිය ජයතිලකරාම විහාරස්ථානයේ ගබඩා කර තිබූ දැව තොගයක් පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදි එවකට ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය ලේකම් ධනසේන සූරසිංහ මහතාගේ රාජකාරියට බාධා කිරීම සහ ඒ මහතාට පහර දී හිරිහැර කිරීම, බැන තර්ජනය කිරීම ඇතුළු චෝදනා පහක් මත විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.

මෙම විත්තිකරුවන්ට හලාවත මහාධිකරණය විසින් 2017 ජුනි මස 27 වන දින රුපියල් පනස් දහස බැගින් මුදල් ඇප ද රුපියල් ලක්ෂ පහ බැගින් එක් අයෙකුට සහතික ඇප දෙක බැගින් නියම කර තිබූ අතර සතියේ සෑම ඉරු දිනකම හලාවත පොලිසියේ වාර්තා කිරිමට ද නියම කර තිබුණි. ඊට අමතරව විත්තිකරුවන්ගේ විදේශ ගමන් බලපත‍්‍රයන්ද අධිකරණය බාරයේ රඳවා තැබීමට ද ද නියම කර තිබුණි.

මෙම නඩු විභාගය යළි අද දින විභාගයට ගත් අවස්ථාවේදී සැකකරුවන් අධිකරණය හමුවට පැමිණ තිබුණ නමුත් හලාවත පොලීසිය මෙම විත්තිකරුවන් මහාධිකරණ විසින් නියම කළ ආකාරයෙන් 2017 අගෝස්තු මස 6 වන දිනෙන් පසු හලාවත පොලිසියට වාර්තා කර නැති බව දැනුම් දීමෙන් අනතුරුව විනිසුරුවරයා එම කොන්දේසි කඩ කර ඇති නිසා විත්තිකරුවන්ට නියම කර ඇති ඇප රාජසන්තක කරමින් ඔවුන් මෙම නඩුවේ ඊළඟ දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළේය. ඊළඟ නඩු දිනය වනුයේ මැයි මස 24 වනදාය.

ඔගස්ටින් ප‍්‍රනාන්දු - හලාවත

 

 

 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment