මාධ්‍ය ආයතන ගෙවීම් පැහැර හරියි - මාධ්‍ය වෘත්තිකයෝ අසීරුවේ

මාධ්‍ය ආයතන ගෙවීම් පැහැර හරියි - මාධ්‍ය වෘත්තිකයෝ අසීරුවේ

පුවත්පත්, රූපවාහිනි, ගුවන්විදුලි ඇතුළු ප්‍රධාන පෙළේ මාධ්‍ය ජාලයන් රැසක මෙම අර්බුදය පැන නැගී ඇති අතර ස්වර්ණවාහිනී ආයතනය පමණක් සිය ප්‍රාදේශීය වාර්තාකරුවන්ට මාස 11 ක ගෙවීම් පැහැර හැර ඇත. ස්වර්ණවාහිනී ආයතනයට අනුබද්ධව සේවය කළ ප්‍රාදේශීය මාධ්‍යවේදියකු පැවසුවේ වරින් වර කරන ලද විමසීම්වල ප්‍රතිඵලයක් ලෙස මාස එකොළහට දෙවතාවක් පමණක් ඉතා සුළු ගෙවීමක් කර ඇති බවයි. රුපියල් හැට දහසක ගෙවීමක් කිරීමට තිබියදී රුපියල් පන්දහසක ගෙවීමක් කිරීම කිසිසේත් සාධාරණ නැති බවද ඔහු අවධාරණය කළේය. ස්වර්ණවාහිනී ආයතනය තෙවැනි වරටත් ඈවර කිරීමට සූදානම් වන බවත් එසේ වුවහොත් ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට ගෙවීමට ඇති මුදල්වලට සිදුවන්නේ කුමක්ද යන්න ගැටලුසහගත බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

මේ අතර ජනයුගය සහ රිවිර යන පුවත්පත් විසින්ද ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට අදාළ ගෙවීම් පැහැර හැර ඇති බව ප්‍රාදේශීය වාර්තාකරුවෝ පෙන්වා දෙති. රිවිර පුවත්පත මාස අටකින් ගෙවීම් කර නැති බවත් ජනයුගය පුවත්පත ආරම්භයේ පටන් එම ආයතනය ඈවර කරන තුරු සේවය කළ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට ගෙවීම් කර ඇත්තේ එක් මසකට අදාළව පමණක් බවත් ඔවුහු පෙන්වා දෙති.

එසේම සත්හඬ පුවත්පතේ සේවය කළ ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ට නිදහස් ලේඛකයින්ට ගෙවීමට ඇති මුදල් මෙතෙක් සම්පූර්ණ කර නැත. එම ආයතනය ජනවාරි සිට වසා දමන බව සේවකයන්ට වාචිකව දැනුම් දීමක් කර තිබිණි. එහෙත් ආයතනයේ සේවකයින් සේවයට වාර්තා කර තිබූ අතර ඔවුන්ට ජනවාරි මාසයේ වැටුප සමග තවත් මාස දෙකක වැටුප් එකවර ගෙවා සමාගම ඈවර කරන බව දැනුම් දී තිබිණි. අදාළ ගෙවීම් පෙබරවාරි මස 28 දිනට පෙර කරන බව සභාපතිවරිය පාලනාධිකාරියට දැනුම් දී තිබුණත් මාර්තු 13 වන දින දක්වා එකී දිනය දීර්ඝ කරන බව යළිත් වරක් දැනුම් දී තිබිණි.

මෙරට මාධ්‍ය ආයතන විසින් සිදුකරන මෙකී සදාචාර විරෝධී හා නීති විරෝධී ක්‍රියා කලාපයට එරෙහිව සියලු මාධ්‍ය සංවිධාන ඒකාබද්ධව ක්‍රියාමාර්ග ගත යුතු බව මාධ්‍ය වෘත්තිකයෝ අවධාරණය කර සිටිති.

- දයා නෙත්තසිංහ

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment