හම්බන්තොට මහනගර සභාවේ බලය යළිත් එරාජ් අතට

හම්බන්තොට මහනගර සභාවේ බලය යළිත් එරාජ් අතට

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී හම්බන්තොට මහනගර සභාවේ මන්ත්‍රී ආසන 21 අතුරින් මන්ත්‍රී ආසන 09ක් දිනාගනිමින් වැඩිම මන්ත්‍රී ආසන ප්‍රමාණයක් දිනා සිටි එක්සත් ජාතික පක්ෂය හම්බන්තොට මහනගර සභාවේ බලය හිමිකර ගැනීමට නියමිතව තිබුණි.

ඒ අතර පසුගිය මාර්තු මස 28 වනදා හම්බන්තොට මහනගර සභාවේ නගරාධිපති තෝරා පත්කර ගැනීමට නියමිතව තිබුණත් එදින සභාවට පැමිණ සිටියේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 09 සහ එක් ආසනයක් පමණක් දිනාගත් මන්ත්‍රීවරයෙකු පමණක් බැවින් ඝනපූර්ණය නොමැති වීම නිසා පසුව දැනුම් දෙන තුරු අද (26) දින දක්වා සභාව කල් දැමීමට තීරණය කෙරිණි.

ඒ අනුව හම්බන්තොට මහනගර සභාවට තේරී පත්වී සිටි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 09ත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 07 දෙනාත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 04 දෙනා සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා ඇතුළු මන්ත්‍රීවරු 21 දෙනාම අද (26) සහභාගී වී සිටියහ.

මෙහිදී නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා නම් යෝජනා කිරීමේදී එක්සත් ජාතික පක්ෂයේ ඩී. ඒ. ගාමිණි මහතාගේ නම ප්‍රථමයෙන් යෝජනා වූ අතර පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ නමද යෝජනා විය. මෙහිදී දෙදෙනෙකුගේ නම් යෝජනා වූ බැවින් විවෘත ඡන්දයක් මගින් නගරාධිපති තෝරාගැනීම සිදු විය.

ඒ අනුව පැවැත්වූ ඡන්ද විමසීමේදී එක්සත් ජාතික පක්ෂයේ ඩී. ඒ. ගාමිණි මහතාට ඡන්ද 09ක් හිමි වූ අතර එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතාට ඡන්ද 11ක් හිමි විය. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා ඡන්දය දීමෙන් වැළකී සිටියේය. කෙසේ නමුත් වැඩි ඡන්ද 11ක් ලබා ගත් එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු මහතාට හම්බන්තොට මහනගර සභාවේ නගරාධිපති ධුරය හිමි විය.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment