#NYS 2018 දෙවන ජාතික යොවුන් සමුළුව සාර්ථක ලෙස නිම වෙයි.

#NYS 2018 දෙවන ජාතික යොවුන් සමුළුව සාර්ථක ලෙස නිම වෙයි.

‘‘ඕනෑම රටක සංවර්ධනය සඳහා තිරසාර සාමය සහ සම සහෝදරත්වය රජයේ ප්‍රතිපත්තියක් ලෙස අවශ්‍යයි“ යැයි එහිදී සමුළුවේ සමාරම්භක උළෙල ඇමතූ උතුරු පළාත් අධ්‍යාපන, සංස්කෘතික කටයුතු, ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය ආචාර්ය කන්දයියා සර්වස්වරන් මහතා ප්‍රකාශ කළේය.

සමුළුවේ තේමාව වූ යහපත් රටක් සඳහා ‘තිරසාර සාමය සහ සංවර්ධනය‘ යන්න අවධාරණය කරමින් එහිදී ජාතික ඒකාබද්ධ, සංවාද සහ නිල භාෂා අමාත්‍යාංශය වෙත යෝජනා කෙරුණේ 2014 ජාතික තරුණ ප්‍රතිපත්තියට සමාන්තරව සුළු ජාතික තාරුණයේ නියෝජනය ද පිළිබිඹු වන අන්දමින් සාමය ගොඩනැගීමේ ප්‍රතිපත්තියක් ගොඩනගන ලෙස ය.

මෙම සමුළුව සඳහා රටේ උතුරු නැගෙනහිර පළාත් ද ඇතුළුව පළාත් සියල්ලම නියෝජනය වන පරිදි තරුණ තරුණියන් 500කට ආසන්න පිරිසක් සහභාගි වී සිටීම විශේෂ ලක්ෂණයක් විය. මෙම තරුණ නායකයන් රටේ විවිධ ජනවර්ග සහ සමාජ පසුබිම්වලට අයත් අය වූහ.

දෙදින ජාතික සමුළුවේ සමාරම්භක උත්සවය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති අතර, සමාන්තර සැසි සහිත දෙවන දිනය සඳහා රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව වෙන් කර තිබිණි.

සාමය හා සංහිඳියාව තුළ තරුණ සහභාගිත්වය පිළිබඳ අදහස් දක්වමින් එහිදී ශ්‍රී ලංකාවේ ඇමරිකානු මහකොමසාරිස් ඩේවිඩ් මැකිනොන් ප්‍රකාශ කළේ ‘‘තාරුණ්‍යය බොහෝ විට ක්‍රියාකාරීන් වශයෙන් මිස ප්‍රතිපත්ති සංවර්ධන කාර්යයේ හවුල් කරුවන් ලෙස නොදකින බව“ යි. මේ තත්වය වෙනස් විය යුතු බව ද ඔහු අවධාරණය කළේය.

යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නියෝජිතවරිය වන පෝලා බුලන්ෂියා, ජාතික සහජීවන, සංවාද සහ නිල භාෂා අමාත්‍යාංශයේ ලේකම් එම්.වයි.එස්. දේශප්‍රිය මහතා, පොදුරාජ්‍ය මණ්ඩලයීය ආසියානු අධ්‍යාපන මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය ෂහීඩ් රසූල්, දෘෂ්‍ය හා නිරූපණ කලා විශ්ව විද්‍යාලයේ උපාධි අධ්‍යයන අංශයේ පීඨාධිපති ආචාර්ය සෞම්‍ය ලියනගේ මහතා, අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන (නාට්‍ය හා නෘත්‍ය කලා) නියෝජ්‍ය අධ්‍යක්ෂ වරුණ අලහකෝන් මහතා යන අය ද මෙහිදී අදහස් දැක්වූහ. ඇමරිකානු තානාපති කාර්යාලයේ නියෝජිතයන් පිරිසක් ද මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.

ශ්‍රී ලංකා ප්‍රජා නාට්‍ය වැඩසටහන හා සාමය ගොඩනැංවීම සඳහා තරුණ දායකත්වය පිළිබඳ අත්පොත් දෙකක් දොරට වැඩීම ද මෙහිදී සිදුවිය. මෙහි මුල් පිටපත් පිළිගැන්වීම වරුණ අලහකෝන් මහතා අතින් සිදුවිය. කලාව හා සංස්කෘතිය හරහා බහුත්ව වටිනාකම් අවබෝධ කර ගත හැකි පරිදි මෙම අත්පොත් සකස් කර ඇති අතර, ප්‍රජා නාට්‍ය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පළවන ප්‍රථම ඉගැනුම් අත්පොත ද මෙය වේ.

උළෙලේ දෙවන දිනයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වූයේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිත සහ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තරුණ න්‍යායපත්‍රයේ ප්‍රධානී රිත්සු නකෙන් මෙනෙවියයි. ‘‘තාරුණ්‍යය සතු ශක්තිය සහ නව අදහස් මුදා හැරීම තිරසාර සාමයේ සහ සංවර්ධනයේ යතුර“ යැයි තමන් විශ්වාස කරන බව ඇය එහිදී ප්‍රකාශ කළාය.

තිරසාර සංවර්ධන අරමුණු (SDG) මුදුන්පත් කරගැනීම සඳහා තරුණ නායකත්වය සම්බන්ධ කර ගැනීමේ අරමුණින් සමාන්තර සැසි 7 ක් දෙවන දිනයේදී පැවැත්විණි. සාමය ගොඩනැංවීම හා සමානාත්මතාවය ප්‍රවර්ධනයේදී තරුණ නවෝත්පාදනය, සාම හමුදාවක් වශයෙන් තාරුණ්‍යය, සාමය ගොඩනැගීමේ තරුණ ජාලයන් සහ සාමය ගොඩනැගීමේදීත් තිරසාර සංවර්ධන අරමුණු ප්‍රවර්ධනය කිරීමේදීත් තාරුණයේ කාර්යභාරය එම සැසිවල තේමාවන් හතර බවට පත්ව තිබිණි.

තරුණ තරුණියන් මහත් උනන්දුවෙන් යුතුව එම සැසිවලට සහභාගි වී සිටින ආකාරය දැකගත හැකි විය.

සමුළුව අවසන් වූයේ ශ්‍රී ලංකා සංවර්ධන ජනමාධ්‍යවේදීන්ගේ සංසදය විසින් පවත්වනු ලැබූ සාමය ගොඩනැගීමේ වැඩසටහන්වලට දායක වූ තරුණ තරුණියන්ගේ එම දායකත්වය අගයමින් ඔවුන්ට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරීමෙනි.

ඇමරිකානු තානාපති කාර්යාලය, කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලය, නීලන් තිරුචෙල්වම් භාරය, වර්ල්ඩ් විෂන් ශ්‍රී ලංකා, WUSC Sri Lanka සහ ආසියාව සඳහා වන පොදු රාජ්‍ය මණ්ඩලයීය මාධ්‍ය අධ්‍යාපන මධ්‍යස්ථානය (CEMCA) විසින් මෙම දෙවන ජාතික යොවුන් සමුළුව සඳහා මූල්‍ය අනුග්‍රහය දක්වා තිබිණි.

- අමාලි ජයවීර | ඡායාරූප - අජිත් සෙනෙවිරත්න

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment