දුලාජ් මදුශංක දේවපුරට කවි ලියන්න ඕනෙ කියල හිතුනෙ ඇයි ?
පාසල් කාලෙ ඉඳන්ම අපේ සෙට් එකේ හිටිය වෙනස් විදියට හිතන, වෙනස් දේවල් කරන්න උත්සාහ කරන එක්තරා විදියක අමුතු රෝගියෙක් මං. එ්ක හරිම සුන්දර පිස්සුවක්. ඉතින් මේ කවි ලියන එකත් ඉන් එක් රෝග කාරකයක්. පාසල් අවධියේ ඉඳන් ම ඇහෙන, දකින, විඳින, විඳවන සංවේදනා මං අතින් අකුරු වෙන්න ගත්තා. එ්වා කවි/ගීත විදියට ඉපැදුනා. එතනින් එහාට කවි ලියන්න ඕනෙ කියලා හිතුණෙ මෙන්න මේ හේතුව නිසාමයි කියලා ටොම් පච, පොර ටොක් නම් මං දෙන්න දන්නෙ නෑ. දැනෙන ඇත්ත දේ කිව්වෙ එ්කයි කෙළින්ම.
ඒ ලියපු කවි එකතු කරල පොතක් කරන්න හිතුනෙ ඇයි ?
මැරෙන්න කළින් වෙනස් එකෙක් විදියට සමාජයේ යම් තරමක හෝ දැනෙන චරිතයක් වෙලා සමාජයට මට දැනෙන යථාර්ථය කියලා එ්ක ඊළඟ පරම්පරාවටත් වැඩක් වෙයි කියලා ඉතුරු කරලා යන්න ඕනි කියලා හිතුණා. ඉතින් මගේ අතින් ලියැවුණු විවිධ කවි එකතුවක් පොතක පිටු අතර තවරලා සහෘදයින්ට එ් සුවඳ විඳින්න දෙන්න මට ආසාවක් ආවා. එ් පිස්සුව නිසාම කවි පොතකුත් කළා ඉතින්.
දැන් පොත කරල ඉවර වුණාට පස්සෙ ඔබට හිතෙන්නෙ මොනවද ?
මගේ මතකයක් විදියට මේ අකුරු සදාකල් හුස්ම ගනීවි ඉතින් මං නැති කාලෙකත් ලබැඳි හදවත්වල. එ්ක තමා ඉතින් තෘප්තිය. වෙන මොනා හිතෙන්නද ? තව කල් යද්දි මගේ කවි විඳපු අය එහි ගුණදොස් පවසාවි. දැනට ලැබෙන ප්‍රතිචාර හොඳයි ඉතින්. හැබැයි මේ පළමු සහ අවසාන පොත නෙවෙයි. හුස්ම වැටෙනකන් මං ලියයි, සල්ලි අතේ ගැවසෙන විටෙක එ්වත් පොත් විදියට එළියට එයි. බලමු ඉතින් නේද ?
'පෑන් තුඩු දිය කර කර' ලියල ලියල රටකට, සමාජයකට අඩුම තරමෙ පුද්ගලයෙකුට එල්ල කරන්න පුළුවන් බලපෑම ගැන ඔබට තියෙන්නෙ මොන වගේ තක්සේරුවක්ද ?
මේ රටේ මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරන්න අපේ මේ කවි වලට පුළුවන් ද කියලා මං දන්නෙ නෑ. හැබැයි ඉතින් අපි හැමෝම විඳින විඳවන දේවල් තමයි මං මේ පෑන් තුඩු දිය කර කර කාවද්දන්න උත්සාහ කළේ. එ්ත් මං ලියන්නෙ සමාජයට පාඩම් උගන්වන්නම නෙවෙයි. සමාන වූ හෘද ඇත්තන්ට යමක් විඳින්න දෙන්නයි මට ඕන වුණේ. මගේ කවි හොඳ නම් එ්වා මිනිස්සු විඳියි. මෙලෝ රහක් නෑ වගේ නම් වීසි කරයි. එතනින් එහාට වෙන්න දෙයක් නෑනේ !
ඔබ මෙන්න මෙහෙම ලියනවා. "හූර හූරා පපුව - මට දැනෙන මේ මොහොත - කවියකින් මතු කරමි - පෑන් තුඩු දිය කර කර..." අපිට කියන්න ඔබ දකින 'මේ මොහොත' කොහොම එකක්ද ?
මට දැනෙන්නෙ මේ අපේ මිනිස්සුන්ගෙ මනුස්සකම් මියැදී ගෙන යන මොහොතක්. ආකල්පමය වශයෙන් සෑහෙන පිරිහිලා. ආදරය දූෂණය වෙලා. ආත්මාර්ථකාමි හෙවනැලි ලුහුබඳින සමාජයක් මේක දැන්. ඕක තමා තත්වෙ. මිනිස්සු මිනිස්සුන්ට ආදරේ නෑ. මිනිස්සු සොබාදහමට ආදරේ නෑ. මිනිස්සු යථාර්ථය දකින්න සූදානම් නෑ. මිනිස්සු වර්ග වෙලා. මිනිස්සු කිව්වට දැන් මිනිස්සු හිඟයි, මිනිස්සු වඳ වෙලා. 'මිනිස්සු' කියන්නෙ දැන් නාම පදයක් විතරයි. එ්ක ප්‍රාණවාචී ද අප්‍රාණවාචී ද කියන එකත් දැන් ගැටලුවක්.
ඔබේ පොතේ පිට කවරෙ අපට පෙනෙනවා නිල් පාට හදවතක්. අපිට ඕනෙ නිල් පාට හදවත්ද, රතු පාට හදවත්ද, වෛවර්ණ හදවත්ද, අවර්ණ හදවත්ද, නැත්නම් වෙන මොන විදියේ හදවත්ද ? ඔබට මොකද හිතෙන්නේ ?
අව්‍යාජ හදවතක් ! ආදරය පිරිච්ච හදවතක් ! මනුස්සකමේ රිද්මය වැයෙන හදවතක් !
අන්තිම ප්‍රශ්නය ! දුලාජ් මදුශංක දේවපුර 'හෙටත්' කවි ලියනවද ?
දුලාජ් මධුශංක දේවපුර හෙටත් කවි ලියයි. තව තව දේ ලියයි. අනිවාර්යෙන්ම හුස්ම වැටෙනකන් ලියයි.
සංවාදය - කසුන් සමරතුංග
0 comments :
Post a Comment