සත්‍යාංගනාවිය - ඈ නොකියූ ඇගේ කතාව

සත්‍යාංගනාවිය - ඈ නොකියූ ඇගේ කතාව

1954 වර්ෂයේ ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්දගේ ආදරණීය පියා වූ ටියුඩර් කීර්තිනන්ද මහතා, මෙකල නීතීඥවරයෙක් හෙවත් එකල ඇඩ්වකේට්වරයෙක් වශයෙන් ශ්‍රෙෂ්ඨාධිකරණයේ දිවුරුම් දුන්නේය. ඒ කාලයේ නීති විද්‍යාලයේ අවසන් විභාගයෙන් දෙතුන් සියයක් සමත් වූයේ නැත. සමත් වන්නෝ අපේ යුක්තියේ දේවාලයේ මහා කුලුනු බඳු වූහ. 54 වසරේ අවසන් විභාගයෙන් ද සමත් වූයේ හය දෙනෙකි. ඒ අල්පයක් දෙනා අතර සිටි අමතක නොකළ යුතු නම් තුනක් වන්නේ අපගේ කථා නායකයා වන ටියුඩර් අලුත්ගමගේ කීර්තිනන්ද, සරත් මුත්තෙට්ටුවේගම සහ ජනාධිපති නීතීඥ දයා පෙරේරා ය.

59 වසරේ ටියුඩර් කීර්තිනන්ද මහතා ජාතික සේවක සංගමය පිහිටුවීමට මුල් තැන ගෙන ක්‍රියා කළේය. එහි ප්‍රථම ලේකම්වරයා ද ඔහුම විය. ටියුඩර් කීර්තිනන්ද මහතා නව ලෝකය සමග එක්ව ගමන් කරන රටේ ප්‍රමුඛ පෙළේ නූතන පක්ෂයකට පණ පිඹිමින් සිටියේය. පසුකලෙක ලංකාවේ පළමු විධායක ජනාධිපති ධුරයට පත්වූ ජේ.ආර්. ජයවර්ධන මහතා ජාතික සේවක සංගමයේ සභාපති ධුරයට පත්වුණේ ද එයින් තුන් වසරකට පසු 1962 වසරේ ය.

60-70 දශක යනු ‘මුළු දිවයිනටම සාම විනිසුරු‘ පදවිය, අද මෙන් බාල්දු වී තිබූ යුගයක් නොවේ. එය, බැලූ බැලූ අත සාම විනිසුරුවරුන් දැකගත හැකි යුගයක් නොවීය. එනයින්, සාම විනිසුරු පදවියක් ලැබීම දුලබ ගෞරවයක් විය. සැමරීමට තරම් කාරණයක් ද විය. 1972 වසරේ ටියුඩර් කීර්තිනන්ද මහතා මුළු දිවයිනටම සාම විනිසුරු පදවියෙන් පිදුම් ලැබූ විට ඔහුගේ නිවසේ විශාල සාදයක් පැවැත්විණි. ඒ සාදයට පැමිණ සිටිවුන් අතර ඩඩ්ලි සේනානායක, ජේ.ආර්. ජයවර්ධන සහ ආර්. ප්‍රේමදාස වැනි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෝ වූහ. ඔවුන් ‘ප්‍රබලයන්‘ නම්, ටියුඩර් කීර්තිනන්ද මහතා, ඒ ප්‍රබලයන් හට බලය ලබාගැනීමේ මං පෙහෙළි කළ ‘අති ප්‍රබලයෙක්‘ බව පක්ෂයේ සැවොම දැන සිටියහ. 1977 වසරේ එක්සත් ජාතික පක්ෂය බලයට පත්වීම සඳහා ටියුඩර් කීර්තිනන්ද මහතා කළ කාර්යභාරය සුළුපටු නොවේ.

රටට බියකරු අවිචාර සමයක් උදා වන්නේ ඉන් පසුව ය. ඒ 1988 වර්ෂයයි. දිනපතා මහමග අලුත් මිනී පිළිස්සෙමින් තිබූ, නාඳුනන තුවක්කුකරුවන් හැන්දෑ යාමයේ දොරින් දොර තට්ටු කරමින් උණ්ඩ වියදම් කරමින්, නිරපරාද ජීවිත අත්තනෝමතික ලෙස බිලිගනිමින් සිටි අවිචාර සමයයි. නමක් නැති මරණ ගැන දොරින් දොර කන් වැකුණු සමයයි. මරණයට පෙර මරණ සහතික ලියැවුණු යුගයයි. 1988 වසරේ ඔක්තෝබර් 21 වැනිදා ටියුඩර් කීර්තිනන්ද මහතා, බම්බලපිටිය සාන්ත පාවුළු මිලාගිරි කාන්තා විද්‍යාලයේ උප විදුහල්පතිනිය වශයෙන් කටයුතු කළ සිය බිරිඳ කමලා කීර්තිනන්ද පාසලට ඇරලවීම පිණිස සිය මෝටර් රථයෙන් ගමන් ගනිමින් සිටියේය.

වේලාව උදෑසන 6.45 විය. එකල නාවල ඔපිලන්ට් කේටර්ස් ඉදිරිපිට වාහන තදබදය තුළ රථයේ ගමන මන්දගාමී විය. වාහන තදබදය තුළ නැවතී තිබූ ටියුඩර් කීර්තිනන්ද මහතාගේ රථයට එකවරම වෙඩි වර්ෂාවක් එල්ල විය. නාඳුනන තුවක්කුකරුවන් පස් දෙනෙක් විසින් වාහනය වට කර තිබණි. ඝාතකයන්, මරණ ලැයිස්තුවේ සිටි සියල්ලන්ම මෙලොවින් තුරන් කරන්නට පිළිණ දී සිටි හෙයින්, වෙඩි වර්ෂාවෙන් පසු බෝම්බයක් ද එල්ල විය. ගිනි ගෙන දැවෙන රථය තුළින් කීර්තිනන්ද මහතා සහ කමලා කීර්තිනන්ද විදුහල්පති මාතාව පිටතට ගන්නට උදව් කළෝ ඒ අවට සිටි ජනතාව ය. අවසන, ටියුඩර් කීර්තිනන්ද මහතාගේ ප්‍රාණය, දේශප්‍රේමී යැයි කියන සංවිධානයක් විසින් දේශයට අහිමි කර තිබිණි. මේ ඝාතනය සිදු කර තිබුණේ එකී සංවිධානයට එරෙහිව ආක්‍රමණකාරී ප්‍රහාරයන් එල්ල කිරීම සතියකට නතර කළ බව රජය විසින් නිවේදනය කර පැය 24 ක් ඉක්ම යන්නට ද මත්තෙනි.

කමලා කීර්තිනන්ද උප විදුහල්පති මාතාවගේ දිවි බේරී තිබුණ ද ඇය සිටියේ ජීවිතයත් මරණයත් අතර ය. අවසානයේ හදිසි ශල්‍යකර්මයක් මගින් පාදයක් ඉවත් කෙරිණි. එතැන් පටන් අද දක්වාම, හරියටම පුරා වසර 30කට ආසන්න කාලයක් ඈ සිය දිවිය ගෙවා දමන්නේ රෝද පුටුවක් මත ය.

කුප්‍රකට දේශප්‍රේමී සංවිධාන විසින් පනවා තිබූ නිල නොලත් ඇඳිරි නීතියට අනුව එකල සවස් වන විට නිවෙස්වල විදුලි පහන් නිවා දැමිය යුතු විය. අකාලයේ කපා දැමුණු විසල් රුක අහිමි කීර්තිනන්ද මහතාගේ නිවසට එය විශේෂයෙන් අදාළ වූයේ ඔහු ඝාතනය කර තිබුණේ ඊනියා දේශප්‍රේමීන් විසින්ම වූ නිසා ය. එනිසා මළ ගෙදර හඬන්නට හැකි නමුත් ඉකිබිඳීම තහනම් විය. හැඬිය යුතු වූයේ හඬ නොනගා ය.

සිය ආදරණීය පියාණන්ගේ අකල් වියෝව සිදුවන විට අපගේ කථා නායිකාව වන ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද විවාහක ය. නීති උපාධිධාරිනියකි. ඇය පියාගේ නිසල දේහය දැකීමට සොවින් බර හදින් යුතුව ආවාය. අද ජ්‍යේෂ්ඨ නීතීඥවරයෙකුව සිටින පුත් පණ්ඩුක කීර්තිනන්ද සහ අද එංගලන්තයේ ජීවත් වන වැඩිමල් සොයුරිය ප්‍රශාන්ති කීර්තිනන්ද සමග එක්ව වැළපුණාය. නමුත් ඉකි නොබින්දාය. කඳුළු ගඟක් ගැලුවත් ඉකි බිඳීම තහනම් නිසා ය.

ඝාතනයට ලක් වන විට ටියුඩර් කීර්තිනන්ද මහතා එක්සත් ජාතික පක්ෂයේ භාණ්ඩාගාරිකවරයා ය. එසේම ඔහු පක්ෂයේ විධායක කමිටුවේ ජ්‍යේෂ්ඨ සාමාජිකයෙකු ද විය. මේ, එක්සත් ජාතික පක්ෂයේ විසල් රුක්, නාඳුනන තුවක්කුකරුවන්ගේ පොරෝ පහරින් එක පිට එක ඇද වැටී තිබිණි. 1987 වසරේ දෙසැම්බර් 23 වැනිදා පක්ෂයේ සභාපති හර්ෂ අබේවර්ධන ද 1988 මැයි මාසයේ පක්ෂ මහලේකම් නන්දලාල් ප්‍රනාන්දු ද අවනීතික දේශප්‍රේමීන් විසින් ඝාතනය කර දමා තිබිණි. පක්ෂයේ ඉදිරි පෙළ නායකයන් ඝාතනය කිරීමේ සැලසුමේදී මේ වන විට ඉතිරිව සිටියේ ටියුඩර් කීර්තිනන්දයන් ය.

ඔවුන් අවසානයේ පක්ෂය වෙනුවෙන් දිවි දුන්නෝ වූහ. ඔවුන් මිය ගියේ, අධික බීමතින් නාන කාමරයේ ඇද වැටීම වැනි සිල්ලර හේතු මත නොවේ. ඔවුන් පක්ෂය වෙනුවෙන් වැඩ කළේ අවට සිදුවන දේ ගැන, ඒ මහා අවදානම ගැන නොදැන නොවේ.

මේ අවිචාර සමයට පසුව 1994 වසරේ එක්සත් ජාතික පක්ෂයට බලය අහිමි විය. 2001-2004 වසර දක්වා ඔවුන්ට නැවත බලය හිමිවිය. 2015 වසරේ දී නැවතත් එක්සත් ජාතික පක්ෂයට බලය හිමි විය. දැන් තිබෙන්නේ ද එක්සත් ජාතික පක්ෂය අවියෝජනීය සංරචකයක්ව පවතින පාලන තන්ත්‍රයකි. නමුත් පක්ෂයේ මහා කොන් ගල් බඳු වූ ටියුඩර් කීර්තිනන්ද ප්‍රමුඛ පෙර කී තිදෙනාගේ සිරිකොතේ තිබෙන ඡායාරූපවල අද වන විට මකුළු දැල් බැඳෙමින් තිබේ!

එනිසා, තමන්ගේ පාක්ෂිකයන් බිල්ලට දුන් ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර, මේ අර්ථයෙන් ගත්කල තිබෙන වෙනස කුමක්දැයි අපි අසන්නෙමු. පක්ෂය වෙනුවෙන් දිවිපිදූ වුන් ගැන මේ පක්ෂවලට අද වගක්වත් තිබේද?

නාඳුනන තුවක්කුකරුවන් විසින් දිවි සොරාගන්නා විට නීති උපාධිය ලබා සිටි ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද මුල පටන්ම රැඩිකල් චරිතයකි. ඇයට පිය උරුමයෙන් නාවලපිටියේ අක්කර දහයක තේ වත්තක් හිමිව තිබිණි. ඇය එය විකුණා දමා චිත්‍රපට නිෂ්පාදනය කළාය. බැංකුවලට ණයකාරියක වූවාය. අධිකරණය ඉදිරියේ බැංකුවලට වගඋත්තරකාරියක ද වූවාය. අවාසනයේ සියල්ල අහිමිව මහමගට බසින්නට පවා විටෙක ඇයට සිදුවිය.

අද, ඇය ජාතික රූපවාහිනියේ මුල් පුටුවට පත්කිරීම ගැන පුරුෂාධිපත්‍යධාරී සිවිල් සමාජයේ ඇතැම් සංචරක නොසන්සුන් වී තිබේ. පිරිමියෙකු මුල් පුටුවට පත් කළා නම් ඒ පත් කළ කෙනාගේ සුදුසුකම් තබා නමවත් නොසොයන රටේ ඔවුන් නගන ජුගුප්සාජනක පැනය මෙබඳු ය. ‘‘කාන්තාවක්ම පත් කළ යුතුයි යැයි නියමයක් තිබුණාද?!!“

මෙකී පත්වීමට මුල් වූයේ එවකට එක්සත් ජාතික පක්ෂයට ප්‍රතිවාදී පිලක සිට දේශපාලනය කළ දෙදෙනෙකි. මේ උපහාරය සැබවින්ම ඇයට නොවේ. ඇගේ පියාණන් වූ ටියුඩර් කීර්තිනන්ද නාමයට ය. ඒ බව වටහාගැනීමට තරම් දියුණු මනසක් ඊනියා විවේචකයන් හට නොවේ.

ටියුඩර් කීර්තිනන්දයෝ රසාලිප්ත පුද්ගලයෙකු වූහ. ඔහු සත්‍යාංගනාවියට සෞන්දර්යය කියා දුන්නේය. ඔහු සමග මධුවිතෙන් සප්පායම් වෙමින් ඔහුට සෞන්දර්යයේ යහළු මදනළින් පවන් සැලුවෝ තිදෙනෙක් වූහ. ඒ, මහගම සේකරයන්, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් සහ ප්‍රේමසිරි කේමදාසයන් ය.

රෝද පුටුවට ජීවිතය එක්තැන් වුවද පුරා තිස් වසරක් මුළුල්ලේ කමලා කීර්තිනන්ද මාතාව නොසැළෙන ඉන්ද්‍රකීලයක් සේ සිය දරුවන් සමග උපේක්ෂාවෙන් යුතුව ජීවත් වන්නීය. ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද ජාතික රූපවාහිනියේ වැඩ භාරගැනීමට පැමිණියේ ඒ මාතාව පෙරටුකරගෙන ය. වැඩභාරගැනීමට පෙර මුලින්ම ඇය ගියේ සිය ආදරණීය පියා නිසල දෑසින් තමන් දෙස බලා සිටින ඡායාරූපය වෙත ය. එය අබියස සිට ඈ නිසැක වශයෙන්ම ඔහුට මේ ගී පද දෙක මුමුණන්නට ඇත.

අන්දර යායේ වැව් තාවුල්ලේ - සක්මන් කරනා අප්පච්චී
දොළේ දියයි මට - කෙතේ නිලයි - ගහ වැලේ මලයි මට අප්පච්චී...

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment