පනතට පටහැනි මි: 840ක් : විදුලි ලේකම් අත්සනින් යයි.


එස් පවර් පුද්ගලික විදුලි බලාගාරයට අප්‍රේල් මාසය සඳහා විදුලිබල මණ්ඩලය ගෙවීමට තිබු රුපියල් මිලියන 840 ක මුදල ගෙවීමට විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ, අනුමත කර ඇත. 

ඔහු එසේ ගෙවීම අනුමත කරමින් විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයාට යවන ලද ලිපියේ පෞද්ගලික විදුලි බලාගාර සමග ඇති කරගත් ගිවිසුම් නැවත දීර්ඝ කිරීම සඳහා ප්‍රතිපාදන නොමැති බව ද සඳහන් කර තිබේ. 

විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඒ.කේ. සමරසිංහ විසින් ඇඹිලිපිටිය ඒස් පවර් ආයතනයට ගෙවිය යුතු රුපියල් මිලියන 840 ක මුදල ගෙවීම සඳහා අනුමැතිය ඉල්ලා යැවීමේ ප්‍රතිඵලයක් ලෙස ලේකම්වරයා මෙම අනුමැතිව ලබා දී තිබේ.

විදුලිබල මණ්ඩලයේ විදුලි මිල දී ගැනීම් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුජීව අබේවික්‍රම විසින් මෙම ගෙවීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කර තිබුණේ ඇඹිලිපිටිය ඒස් පවර් හා විදුලිබල මණ්ඩලය අතර පවතින ගිවිසුම විදුලිබල පනතට පටහැනි බව පවසමිනි. එහි අවසන් ප්‍රතිඵලය වූයේ නියෝජ්‍ය සාමන්‍යාධිකාරී සුජීව අබේවික්‍රම විදුලිබල මණ්ඩලයට අදාළ නැති හේතුවක් මත වැඩ තහනම් කිරීමය.

මේ අතර දකුණු පළාතේ විදුලි හිඟයක් ඇතිවේය යන ප්‍රවෘත්තියක් පුවත්පත්වල පළවුවත් එය විදුලි මාෆියාවේ මවාපෑමක් බව විදුලිබල මණ්ඩලයේ ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත. සාමාන්‍යයෙන් දකුණු පළාතට මෙගාවොට් 100 ක පමණ හදිසි විදුලිබල අවශ්‍යතාවක් පැන නැගිය හැකිවීම සත්‍යයක් බව පවසන එම ආරංචි මාර්ග ඊට විසඳුමක් ලෙසට ගාල්ලේ මෙගාවොට් 100 ක බත්තල් විදුලි බලාගාරයක් ඉදිකිරීමට යෝජනා වී ඇති බවත් ඒ සඳහා 2014 දී රජයේ අනුමැතිය ලැබී තිබුණද මේවනතුරු විදුලිබල මණ්ඩලය එම විදුලි බලාගාරය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර නොමැති බවත් කියා සිටී. 

එමෙන්ම දැනටමත් මිලදී ගෙන ඇති කොළඹ බලාජ් විදුලි බලාගාරය ද එසේ මිලදී ගෙන ඇත්තේ ද දකුණු පළාතේ හම්බන්තොට හෝ ගාල්ලේ ඉදිකිරීමටය. මෙගාවොට් 60ක විදුලි බලාගාරයක් වන එය ද තවමත් දකුණු පළාතට ගෙන ගොස් සවිකර නැත්තේ ඇයිද යන්න සේවකයන් තුළ සැකයක් මතුව තිබේ.

විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම් සුලක්ෂණ ජයවර්ධනගෙන් මේ ගැන විමසූ විට පැවසුවේ පෞද්ගලික විදුලි බලාගාරයක් සමග පවතින ගිවිසුමක් දිර්ඝ කිරීමේදී ගතයුතු ක්‍රියාමාර්ග ගැන විදුලි පනතේ සඳහනක් නැති බවය. එමෙන්ම 2019 දී ගාල්ලේ මෙගාවොට් 100ක බත්තල් විදුලි බලාගාරයක් ඉදිකිරිමේ යෝජනවාක් තිබූ බවත් එය 2017- 2018 වසරවලදී ඉදිකිරීම් නිම කිරීමට නියමිතව තිබුණත් එය ඉටුවී නැති බවය. ඒ සඳහා මේ වනවිට ටෙන්ඩර් කැඳවා තිබෙන බව ද ඔහු කීවේය.

(රාවය)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment