ගෝඨා නොයන මඟ : වියත්මඟ වන හැඩ.




ඉදිරි ජනාධිපතිවරණයේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති අපේක්ෂකත්වය ලැබෙන්නේද යන්න සම්බන්ධයෙන් සහ කුමන ආකාරයකින් හෝ තරග කළහොත් රාජපක්ෂ පවුලේ සියලු දෙනාගේ සහාය ඔහුට ලැබෙන්නේද යන්න සම්බන්ධයෙන් මේ වනවිට වියත්මග නායකයන්ට පවා විශ්වාසයක් නොමැති තත්වයට පත්ව තිබේ.

මේ වනවිට ඒකාබද්ධ විපක්ෂයේ බහුතරයක් ගෝඨාභයට එළිපිටම විරෝධය දක්වන අතර එම විරෝධය පිටුපස සිටින ප්‍රධානතම පුද්ගලයා වන්නේ බැසිල් රාජපක්ෂයි. බැසිල් රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් සංවිධාන කටයුතු ආරම්භ කර ඇති අතර ඒ කිසිවක් සඳහා ගෝඨාභය හෝ ඔහු වටා සිටින කිසිවෙකුත් සම්බන්ධ කර නොගන්නා අතර ගෝඨාභය ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරන කාලයේදී සිදුකළ ඇතැම් කටයුතු සම්බන්ධයෙන් බැසිල් ප්‍රසිද්ධියේ විවේචනය කරමින් සිටී.

මේ අතර හිටපු ජනාධිපතිවරයා පසුගියදා පිළියන්දල ප්‍රදේශයේ පැවති රැස්වීමක් අතරතුර ප්‍රකාශ කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන එන බවක් හෝ ඔහුට සහාය ලබාදෙන බවක් හෝ තමන් කිසිවිටෙකත් ප්‍රකාශ කර නොමැති බවයි. තමන් එවැනි කිසිවක් ප්‍රකාශ කර නොමැති බවත් තමා නැවත බලයට පත්වීමෙන් පසු ගෝඨාභයට කලින් මෙන් තමා යටතේ වැඩකළ හැකි බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

මේ අතර ගෝඨාභය බලයට ගෙනඒමේ සටනේ ප්‍රමුඛයෙකු මෙන්ම වියත්මග සංවිධානයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයෙකු වන නාලක ගොඩහේවා සිය ෆේස්බුක් පිටුව හරහා ප්‍රකාශ කරන්නේ ජනතාව පිළිගන්නා අපේක්ෂකයා කවුරුන්ද යන්න, කෘතහස්ත දේශපාලනඥයෙකු වන මහින්ද රාජපක්ෂ මහතා අවසන් මොහොතේ හෝ පිළිගන්නා බවට තමන්ට විශ්වාස බවයි. වියත්මග සංවිධානයේ නායකයන්ට පවා ගෝඨාභය සම්බන්ධයෙන් තබාගෙන සිටි බලාපොරොත්තුව සුන්කර ගැනීමට සිදුව තිබෙන අතර මේ වනවිට ගෝඨාභය වටා සිටි බහුතරයක් ඔහුගෙන් ඉවත්ව ගොස් තිබේ.

පසුගිය කාලයේදී ගෝඨාභය වෙනුවෙන් පෙනී සිටි ඒකබද්ධයේ විමල් වීරංශ, උදය ගම්මන්පිල වැන්නන් පවා දැන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටී.

අවසානයේ ගෝඨාභයට ඉතිරි වී ඇත්තේ කමල් ගුණරත්න වැනි විශ්‍රාමික හමුදා නිළධාරීන් කිහිප දෙනෙකු, රණවිරු නාමය විකුණාගෙන කන - හමුදාවෙන් පන්නා දැමූ - අජිත් ප්‍රසන්න වැනි කටවාචාලයක් කිහිප දෙනෙකු සහ නාලක ගොඩහේවා වැනි පසුගිය ආණ්ඩුව සමයේ විවිධ දූෂණ චෝදනා එල්ල වූ කිහිප දෙනෙකු පමණි.

මෙම බලඇණිය සමග ජනාධිපතිවරණය වැනි තීරණාත්මක සටනකට තබා සමුපකාර ඡන්දයකට හෝ ඉදිරිපත් විය නොහැකිය. ඒ බව වියත්මග නායකයන්ද තේරුම් ගනිමින් සිටින අතර නාලක ගොඩහේවා සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර ඇත්තේ අන්තර්ජාලය සහ සමාජ ජාලා මාධ්‍ය සිය ප්‍රධානතම අවිය වුවද සංවිධාන ජාලයක් නොමැතිව ජනාධිපතිවරණය ජයගත නොහැකි බවයි.

ඒකාබද්ධ විපක්ෂයේ සහ පොදුජන පෙරමුණේ සංවිධාන ජාලය බැසිල් රාජපක්ෂ සතුව පවතින අතර ඔහු මේ දිනවල එම සංවිධාන ජාලය ශක්තිමත් කර ගනිමින් සිටී. ගෝඨාභයට ජනාධිපතිවරණය සම්බන්ධයෙන් බලාපොරොත්තු තබා ගැනීමට නම් එම සංවිධාන ජාලය තමා යටතට ගැනීමට සිදුවන අතර එහෙත් එවැන්නක් සිදුවීමට කිසිසේත්ම ඉඩක් නොමැත. එසේ වීමට නම් බැසිල් රාජපක්ෂ සියලු බේද පසෙක ලා ගෝඨාභයට සහයෝගය දැක්විය යුතුය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment