විරුද්ධ අය සියල්ල මරා තනි පාතාල බළකායක් හදන්න මාකඳුරේ මධුෂ්ගේ සැලසුමක්

ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින පාතාල නායකයකු වන මධුෂ් ලක්‍ෂිත නොහොත් මාකඳුරේ මධුෂ්, දිවයින පුරා සිටින සියලු පාතාල නායකයන් සහ සාමාජිකයන් එක්කොට එක් ප්‍රබල පාතාල කල්ලියක් සෑදීම සඳහා වැඩපිළිවෙළක් දියත් කොට ඇතැයි පාතාල මර්දන ඒකකයන් වෙත තොරතුරු ලැබී තිබේ.
වාර්තා වන අන්දමට මෙරට පාතාලයේ "ගෝර්ඩ් ෆාදර්" ලෙස සැලකෙන මාකඳුරේ මධුෂ්
විසින් තමාගේ එම වැඩපිළිවෙළට අකැමැත්තක් දක්වන පාතාල ක්‍රියාකාරීන් ඝාතනය කිරීම සදහා සැලැස්මක් දියත් කර ඇති බවටද එම ඒකකය වෙත තොරතුරු ලැබී ඇත.
රක්‍ෂිත බන්ධනාගාර ගත කොට ඇති පාතාල නායකයකුගේ බිරිය වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී ඝාතනය කිරීමට උපදෙස් දී ඇත්තේද මාකඳුරේ මධුෂ් විසින් බවටද එම ඒකකයන් වෙත තොරතුරු වාර්තා වී තිබේ.
එම ඝාතන තැත ඉකුත් 13 වැනි දින පොලිස් විශේෂ කාර්ය බළකා

නිලධාරීන් විසින් ව්‍යර්ථ කරන ලද්දේ එම ඝාතනයට පැමිණි පාතාල කල්ලි සාමාජිකයන් පස් දෙනකුද අත්අඩංගුවට ගනිමිනි.
මනුෂ්‍ය ඝාතනයකට සහ කොල්ලකෑම් කිහිපයකට අදාළව රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින "පූගොඩ මංජුල"ගේ බිරිය ඝාතනය කිරීම සඳහා මෙම පිරිස පැමිණෙන බවට පොලිස් විශේෂ කාර්ය බළකාය වෙත තොරතුරු ලැබී තිබේ.
මාකඳුරේ මධුෂ්ගේ උපදෙස් මත එම ඝාතන සැලැසුම සකස් කර ඇත්තේ දැනට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින "කඩුවෙල බෝල වසන්ත" විසින් බවද එම විශේෂ කාර්ය බළකායට තොරතුරු ලැබී ඇත.
මාකඳුරේ මධුෂ්ට එරෙහි කල්ලියක ප්‍රබල ක්‍රියාකාරිකයකු වන පූගොඩ මංජුලට බෝල වසන්ත දන්වා ඇත්තේ මධුෂ්ගේ කල්ලියට එකතු වන ලෙසටය.
බන්ධනාගාරය තුළදී වූ එම සාකච්ඡාවට පූගොඩ මංජුල සිය අකැමැත්ත පළ කර ඇතැයි ද පාතාල මර්දන ඒකකය පවසයි.
එම හේතුව මත පූගොඩ මංජුලට රිදවීම සඳහා මධුෂ්ගේ නියෝගය පරිදි ඔහුගේ බිරිය ඝාතනය කිරීම සඳහා වූ සැලැස්ම මෙලෙස බෝල වසන්ත විසින් සකස් කර ඇත.
එම තොරතුරු අනුව එය පරීක්‍ෂා කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සිවිල් ඇඳුමෙන් සැරසී වැලිකඩ බන්ධනාගාරය ආසන්නයට ගොස් මේ සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටි අවස්ථාවේ බන්ධනාගාරය ඉදිරිපිට ඇති බස් නැවතුම්පොළක් ආසන්නයේ සිටි පුද්ගලයකු ගැන සැක සිතූ සිවිල් ඇඳුමින් සැරසී සිටි පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් එම පුද්ගලයා සමීපයට ගොස් ඇත.
එම සැකකාර පුද්ගලයා එම අවස්ථාවේ සිදුකරමින් සිටි දුරකථන සංවාදයක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ඇසී ඇති අතර ඒ අනුව එම පුද්ගලයා සැලසුම් කරන ලද මෙම ඝාතනය සඳහා පැමිණි එක් පුද්ගලයකු බවට තහවුරු කරගෙන ඇත.
පසුව එම සැකකාර පුද්ගලයා ඒ ආසන්නයේ නවතා තිබූ ඔහු පැමිණි යතුරුපැදියක්ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් මේ පුද්ගලයා වන්නේ වයස අවුරුදු 22ක් වූ වැලිවිට, කඩුවෙල ලිපිනයේ පදිංචි නිල්වල කංකානම්ලාගේ ලහිරු ප්‍රමෝද්‍ය පෙරේරා යන අය වේ.
ඉහත කී සැකකරු සන්තකයේ තිබී ජීව අත්බෝම්බයක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්

විසින් සොයාගෙන ඇත. ඉන්පසු මෙම සැකකරු සමඟ යතුරුපැදියෙන් පැමිණි තවත් පුද්ගලයකු වැලිකඩ බන්ධනාගාරය තුළ සිට පිටතට පැමිණෙන අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇත.
මොහු වයස අවුරුදු 23ක් වූ උඩමාපිටිගම, මල්වාන ලිපිනයේ පදිංචි රුවන් පතිරණගේ සජිත් විදුරංග යන අය වේ.
අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන්ගෙන් ලබා ගත් තොරතුරු මත ඒ ආසන්නයේ නවතා තිබූ ත්‍රිරෝද රථයක් පරීක්‍ෂා කිරීම ස¼දහා ඒ අසලට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් යමින් සිටි අවස්ථාවේ එක්වරම නවතා තිබූ එම ත්‍රිරෝද රථය පණ ගන්වාගෙන ඉතා වේගයෙන් දෙමටගොඩ දෙසට ධාවනය කර ඇත. පලා ගිය එම ත්‍රිරෝද රථය පසුපස හඹා ගිය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් දෙමටගොඩ ගුවන් පාලම ආසන්නයේදී එම ත්‍රිරෝද රථය නවතා පරීක්‍ෂා කර එහි සිටි රියැදුරු ඇතුළු සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
ත්‍රිරෝද රථයේ රියැදුරු වයස අවුරුදු 25ක් වූ රුවත්ත පටුමඟ මට්ටක්කුලිය පදිංචි ජොන්සන් අමිල යන අය වේ. ත්‍රිරෝද රථයේ සිටි අනෙක් පුද්ගලයන් වයස අවුරුදු 24ක්මූ සමිත්පුර, මට්ටක්කුලිය පදිංචි සෑම් අබේසූරියගේ කැලුම් කුමාර යන අය වන අතර ඔහු භාරයේ තිබී හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 610ක් සොයා ගෙන ඇත. ත්‍රිරෝද රථයේ සිටි තෙවැනි සැකකරු වයස අවුරුදු 27ක් වූ සමිත්පුර, මට්ටක්කුලිය ලිපිනයේ පදිංචි වේළුපානි රවි යන අය වේ.
මෙම ත්‍රිරෝද රථය පරීක්‍ෂා කිරීමේදී ඒ තුළ සඟවා තිබී තියුණු මන්නා පිහියක් එම පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇත. ඒ අනුව මෙම සැලසුම් කළ ඝාතනය සඳහා පැමිණි සැකකරුවන් 05 දෙනකු ජීව අත්බෝම්බයක්, තියුණු මන්නා පිහියක්, ත්‍රිරෝද රථය, ව්‍යාජ අංක තහඩුවක් සවි කරන ලද යතුරුපැදියක් සැකකරුවන් සන්තකයේ තිබූ ජංගම දුරකථන කිහිපයක් හා හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 610ක්ද සමඟ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින බවද උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.
පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරින් ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතාගේ සෘජු අධීක්‍ෂණය සහ උපදෙස් මත මේ පිළිබඳව ඉදිරි විමර්ශන කටයුතු සිදුකරයි.

චාමර අමරසූරිය (මව්බිම)



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment