ශ්‍රී ලංකාව ගෝලීය තරුණ සංවර්ධන දර්ශකයේ 31 වැනි තැනට

ශ්‍රී ලංකාව ගෝලීය තරුණ සංවර්ධන දර්ශකයේ 31 වැනි තැනට

ගෝලීය තරුණ සංවර්ධන දර්ශකය අනුව, 2016 වසරේ දී රටවල්  183ක් අතරින් ශ්‍රී ලංකාව 31 වැනි ස්ථානයට පැමිණ ඇති බවත්, ආසියාවේ රටවල් ගණනාවක් අභිබවා ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණීම මෙරට තාරුණ්‍ය ලැබූ ජයග්‍රහණයක් බවත් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පොදුරාජ්‍ය මණ්ඩලයේ ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ ගෝලීය තරුණ සංවර්ධන දර්ශක වාර්තාව පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමිනි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය, තරුණ කටයුතු පිළිබඳ වගකීම භාරව කටයුතු කරයි.  

පොදුරාජ්‍ය මණ්ඩලය මේ වසරේ ගෝලීය තරුණ සංවර්ධන දර්ශක වාර්තාව තරුණ තරුණියන්ගේ අධ්‍යාපන සංවර්ධනය, සෞඛ්‍ය සහ සුබ සාධනය, සේවා නියුක්තිය සහ රැකියා අවස්ථා, දේශපාලන සහභාගිත්වය, ප්‍රජා සහභාගිත්වය යන  මුලික කොන්දේසි මත සකස් කර තිබේ.

මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, "ගෝලීය තරුණ සංවර්ධන දර්ශක වාර්තාව  අනුව පළමු ස්ථානයේ ඉන්නේ ජර්මනිය. මුල්ම රටවල් පහ අතර ඩෙන්මාර්කය, ඔස්ට්‍රේලියාව, ස්විට්ස්ර්ලන්තය, එක්සත් රාජධානිය යන රටවල් තිබෙන්නේ. මෙවැනි සංවර්ධිත රාජ්‍යන් සමග සංවර්ධනය වෙමින් පවතින අප වැනි රටකට ඉදිරියට එන්න තියෙන අවස්ථා විරලයි. ආසියානු කලාපයේ තරුණ සංවර්ධනයේ දුර්වලතම රට ඉන්දියාව. භූතානය 69 වන ස්ථානයේ ඉන්නේ, නේපාලය 77, බංගලාදේශය 146, පකිස්ථානයට හිමිවෙලා තිබෙන්නේ 154 වන ස්ථානයයි. නායකත්ව පුහුණුව, පෞරුෂ සංවර්ධනය තුළින් තරුණ තරුණියන් රැකියා ඉලක්ක කරගත් මුලික පුහුණුව ලබා දීම අරමුණු කර ගනිමින් ජාතික යොවුන් සේනාංකය හරහා මොනරාගල, රත්නපුර, ගාල්ල, දිස්ත්‍රික් සහ උතුරු පළාත අවරණය වන පරිදි අලුතින් පුහුණු ආයතන 13ක් ආරම්භ කලා. මීට අමතරව තාරුණ්‍ය තුල සාහිත්‍ය, කලා හැකියාවන් වර්ධනය, තරුණ ව්‍යවසායකයන් නගා සිටුවීම. නවෝත්පාදන හැකියාවන් සහිත තරුණ තරුණියන් නගා සිටුවීම. භාෂා දැනුම සංවර්ධනය සහ වෘත්තීය පුහුණුව මගින් රැකියා වෙළඳපොළ ජයගැනීමට අවස්ථාව සලසා දීම. තරුණ හුවමාරු වැඩසටහන් මගින් දෙස් විදෙස් අත්දැකීම් මගින් තාරුණ්‍යයේ අභියෝග ජය ගැනීමට සහ අන්තර් සම්බන්දතා වර්ධනය කිරීම සහ සියලු ම දිස්ත්‍රික් අවරණය වන පරිදි යෞවන සමාජ සම්මේලන අලුතින් පිහිටුවීම ආදී වැඩසටහන් මගින් මෙරට තාරුණ්‍යයේ සංවර්ධනයට අවස්ථාවන් උදාකර දීමත් ලාංකික තාරුණ්‍යයේ වටිනාකම් ඉහල මට්ටමකට පැමිණීමට හේතුවක්"යැයි කියාසිටියේය.

ශ්‍රී ලංකාවේ අනාගත උරුමක්කරයින්ගේ සංවර්ධනය ඉහල තත්ත්වයකට ගෙන ඒම තමා ඇතුළු රජය දකින සංවර්ධනයේ තවත් එක පෙරනිමිත්තක් බව සඳහන් කළ අමාත්‍යවරයා වත්මන් රජයේ සංවර්ධනය හුදු කොන්ක්‍රීට් ගොඩක් නොවන බවත්, සංකල්පමය වශයෙන් සහ ආකල්පමය වශයෙන් ඉදිරිය දකින මානව ප්‍රජාවකගේ සංවර්ධනය සමග භෞතික අවශ්‍යතා ගොඩනැංවීම පාදක කරගත් සංවර්ධන ක්‍රියාදාමයක් බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment