අනුරගෙන් රාජිතට සැර චෝදනාවක්‌ - රාජිතට එරෙහිව විශ්වාසභංගයක්‌ අද?


රට පුරා යහපත් සෞඛ්‍ය සේවාවක්‌ පවත්වාගෙන යන බවට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා කළ ප්‍රකාශයක්‌ සම්බන්ධයෙන් විරෝධය දැක්‌වූ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (23 දා) පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය ඇමැතිවරයා විවේචනය කරමින් කතාකිරීම නිසා දෙදෙනා අතර උණුසුම් මත ගැටුමක්‌ ඇති විය. 

දිස්‌ත්‍රික්‌ක කිහිපයක ජනතාව නියඟයෙන් පීඩා විඳින බවත් ඒ අතර වකුගඩු හා පිළිකා රෝගීන් සිටින බවත් ඔවුන්ට දිනපතා ප්‍රතිකාර කටයුතු කරගැනීමට ආර්ථික අපහසුතාවක්‌ ඇති බවත් දිසානායක මහතා කීවේය.

අනුර කුමාර දිසානායක මහතා - ගොවි ජනතාවට අසනීපයක්‌ වුණොත් රෝහල්වල බෙහෙත් නෑ. පිටින් ගන්න ඕනෑ..

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා - කොහෙද කොහෙද?

අනුර කුමාර දිසානායක මහතා - මොනරාගල

රාජිත සේනාරත්න මහතා - මම පරීක්‍ෂණයක්‌ කරන්නම් රෝහල් අධ්‍යක්‍ෂකවරයාට විරුද්ධව. රෝහල්වල බෙහෙත් තියෙනවා. රසායනාගාර සේවා රෝහල්වල තියෙනවා.

අනුර කුමාර දිසානායක මහතා - රෝහල්වල බෙහෙත් තියෙනවා කියනවා. සියලුම රසායනාගාර සේවා රෝහල්වලින් කරගත හැකියි කියනවා. රටේ සෞඛ්‍ය සේවය යහපත් නම් ඇයි රෝහල් ඉදිරිපිට ෆාමසි තියෙන්නේ. ලේ, මුත්‍රා පරීක්‍ෂා කරන රසායනාගාර සේවා තියෙන්නේ ඇයි? ඉස්‌සර රෝහල් ඉදිරිපිට තිබුණේ මිනීපෙට්‌ටි සාප්පු. ඒ මියයන අයට රෝහලෙන් පෙට්‌ටි නොදෙන නිසා. අද රෝහල්වලින් බෙහෙත් නොදෙන නිසා, ලේ මුත්‍රා පරීක්‍ෂා නොකරන නිසා තමයි ෆාමසි, රසායනාගාර සේවා තියෙන්නේ.

මේ අවස්‌ථාවේ සෞඛ්‍ය ඇමැතිවරයා නැගිට නොනවත්වා යමක්‌ ප්‍රකාශ කරයි.

අනුර කුමාර දිසානායක මහතා - රෝහල්වල යහපත් සෞඛ්‍ය සේවයක්‌ තිබෙනවා නම් ඇයි සෞඛ්‍ය ඇමැතිවරයා ජනාධිපති අරමුදලෙන් ලක්‍ෂ සීයක්‌ අරගෙන සිංගප්පූරුවේ එළිසබෙත් රෝහලට ගියේ? මොන හිඟන්නෙක්‌ද මේ. (සභාවේ ඝෝෂා - සෞඛ්‍ය ඇමැතිවරයා යමක්‌ කියයි)

කථානායක - වාඩිවෙන්න

අනුර කුමාර දිසානායක මහතා - මගේ කතාව. ඇයි මම වාඩිවෙන්නේ. එයාට වාඩිවෙන්න කියන්න. ටොමියා ඇයි බුරන්නේ? මෝදර ධීවර වරාය බදු දුන්නා. තක්‌සේරුව ලක්‍ෂ 17 යි. ඒත් එක්‌ලක්‍ෂ විසිපන්දහස ගානේ මාස තුන්සීයකට බදු දුන්නා. පරීක්‍ෂණ අල්ලස්‌ කොමිසම කරද්දී ජනාධිපතිවරයා හමුවෙලා අල්ලස්‌ කොමසාරිස්‌ව මාරුකළා. ආයුර්වේද සංස්‌ථාවට මස්‌සිනා දාලා නෝනා පත්වීම් දෙනවා. පට්‌ට හොරෙක්‌. මොන හිඟන්නෙක්‌ද මේ. ඒවට එන්න එපා හොඳේ. කවුද මෙයා. මගෙන් මොකවත් අහගන්න එපා. ආණ්‌ඩුවත් එක්‌ක බිස්‌නස්‌ කරලා මන්ත්‍රීකම නැති වුණා. රනිල් වික්‍රමසිංහට දණ ගහලා වඳින්න ඕනේ.. මන්ත්‍රීකම ජාතික ලැයිස්‌තුවෙන් දුන්නට. බිස්‌නස්‌ කරලා මන්ත්‍රීකම නැති වුණ එකම පුද්ගලයා. එයාව වාඩිකරවන්න. මට කතාකරන්න කාලය ඕනේ.

සෞඛ්‍ය සේවය බිඳ වැටිලා. මේ නියඟය නිසා ගමේ මිනිහෙක්‌ අසනීප වුණොත් බෙහෙත් ගන්නවත් ආර්ථික ශක්‌තියක්‌ නෑ. ගොවි ජනතාව වකුගඩු රෝගයෙන් පෙළෙනවා. ජනාධිපති අරමුදලෙන් දෙන්නේ එක්‌ලක්‍ෂ හැත්තෑපන් දාහයි. ඒකටත් ග්‍රාම සේවකගේ, ප්‍රාදේශීය ලේකම්ගේ සහතිකය ඕනේ. ඒත් රටේ සෞඛ්‍ය ඇමැතිට ජනාධිපති අරමුදලෙන් ලක්‍ෂ සීයක්‌ දෙනවා. මොන හිඟන්නෙක්‌ද ඒ සෞඛ්‍ය ඇමැති. මේ නියඟය සමඟ ගොවි ජනතාවට සෞඛ්‍ය දීමනාවක්‌ ලබාදිය යුතුයි.

(යළි සෞඛ්‍ය ඇමැතිවරයා යමක්‌ කියයි.)

දිසානායක මහතා - බුරන්න එපා.. එතුමා කෝප වෙලා... ටොමියා ඇවිස්‌සිලා...

රාජිතට එරෙහිව විශ්වාසභංගයක්‌ අද හෝ හෙට භාර දෙනවා

චෝදනා හතක්‌ යටතේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (24 දා) හෝ හෙට (25 දා) කථානායකවරයාට භාරදෙන බව ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ඊයේ (23 දා) පැවසීය. 

විශ්වාසභංග යෝජනාවට අවශ්‍ය අත්සන් අද දවස තුළ පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගෙන් ලබා ගන්නා බවද මන්ත්‍රීවරයා පැවැසුවේය.


රජයේ තක්‌සේරු මුදලට වඩා අඩු මිලට මෝදර ධීවර වරාය බදු දීම, අල්ලස්‌ කොමිසම හමුවේ ඇති පරීක්‌ෂණවලට පෙනී නොසිට මඟ හැර සිටීම ඇතුළු චෝදනා හතක්‌ රාජිත සේනාරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට ඇතුළත් කර ඇතැයිද සොයිසා මහතා කීවේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment