දකුණු අප්‍රිකා T20 තරගයට මාලිංග කැඳවයි?


ලසිත් මාලිංග ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයේ සිටින බවත්, ඔහු දකුණු අප්‍රිකාවට එරෙහි විස්සයි20 තරගයට ක්‍රීඩා කරනු ඇති බවත් ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර පැවසීය.

කෙසේ නමුත් තේරීම් කමිටුව, ප්‍රධාන පුහුණුකරු හා කණ්ඩායම් නායකයාගේ තීරණය මත මාලිංගගේ සහභාගීත්වය තීරණය වන බව හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පෙරේදා (05දා) අවසන් වූ තෙවැනි එක්දින තරගයෙන් පසුව පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී කළ විමසීමකදී ඔහු මේ බව අනාවරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිලාන්, "මම හිතන්නේ ලෝක කුසලාන සංචිතයේ ලසිත් මාලිංග ඉන්නවා. නමුත් එතැනින් එහාට මට කථා කරන්න බැහැ. ඒක තේරීම් කමිටුව, ප්‍රධාන පුහුණුකරු සහ නායකයා ඔවුන්ගේ සංයුතිය අනුව තීරණය වෙන්නේ. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා මාලිංග මේ විස්සයි20 තරගය (දකුණු අප්‍රිකාවට එරෙහි) ක්‍රීඩා කරයි කියලා" යැයි පැවසීය. 

විනය කඩකිරීමක් හේතුවෙන් මේ වනවිට කණ්ඩායමේ ස්ථානය අහිමි සිටින ධනුෂ්ක ගුණතිලක නොසිටීම කණ්ඩායමට අවාසියක් වූවාදැයි මෙහිදී තිලාන්ගෙන් විමසා සිටියේය. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහු,

"මම නෙමෙයි විනය කැඩුවේ, ඔහුයි. එය ධනුෂ්කගේ අතේ තිබෙන්නේ. ධනුෂ්ක නැහැ කියලා කණ්ඩායමට පාඩුවක් නැහැ. හොඳම උදාහරණය බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලියේ තෙවැනි තරගය. චන්දිමාල්, මැතිව්ස්, හේරත් හා දිමුත් කරුණාරත්න මේ හතර දෙනාම ක්‍රීඩා කළේ නැහැ. නමුත් අපි තරගය ජයගත්තා.

මම හිතන්නේ එක් ක්‍රීඩකයෙක් එළියෙ හිටියා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. චන්දිමාලුත් දැන් එළියෙ ඉන්නේ. ඔහුත් කණ්ඩායමට එන්න බලාගෙන ඉන්නේ. ඔහු (ධනුෂ්ක) එළියට ගියේ ඔහු කළ වරදක් නිසා, අපි කරපු වරදක් නෙමෙයි. ඒ නිසා මට ඒ ගැන කියන්න අමාරුයි."

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment