හමුදා පාලනය සහ අධිකරණ පාලනය ජනතාවගේ පරමාධිපත්‍ය මත කරන බලපෑම

උතුරු නැගෙනහිර යුද්ධය පැවති සමයේ විද්යුවත් මාධ්යය මගින් නිතර නිතර සටනේ ජවනිකා රූපවාහිණියෙන් පෙන්වනු ලැබීය. දිගුදුර විහිදුම් බළකාය සිදුකරන වික්රමමාන්විතයන් මෙන්ම ගුවන් ප්‍රහාර සිදුකිරීමේදී ත්‍රස්තවාදී කදවුරු සුනු විසුනු වීයන ආකාරය අමන්දානන්දයෙන් නැරඹීම ලාංකිකයන්ගේ සතුටවිය. රාත්‍රී රූපවාහිණිය අසළට යන ජනතාව රජයේ හමුදා සතුරු ඉලක්ක හඹා යමින් භටයන් ඉදිරියට ඇදෙනු ආනන්දයෙන් බලා සිටියේ ය.

ඒ එදාය. අද එයට වෙනස් ක්‍රීයාන්විතයක් සිදුවෙයි. අද විද්යුත් සහ මුද්‍රණ මාධ්යදය මගින් නිතර අසන්නට ලැබෙන්නේ සහ පෙන්වන්නේ FCID, අල්ලස්නඩු, CID, අධිකරණ, ඇපදීම් සහ සිරගත කිරීම්ය. එදා යුධ ගැටුම්නරඹන ලද ජනතාව අද නරඹන්නේ නීති ගැටුම්ය. අධිකරණය හරහා සිදු කරන ක්‍රියාන්විතයකි.

යුධ ගැටුම් හමුවේ හමුදාව බලවන්තවන ආකාරයට නීති ගැටුම් හමුවේ අධිකරණය සිය බලය ප්‍රසාරණය කර ගනී.ඇතැම් විනිසුරුවරු එක් ආකාරයකටත් ඇතැම් විනිසුරුවරු වෙනත් අකාරයකටත් තීරණ ගන්නා බවට ජනතාව අතර අදහසක් ඇත. යුධ ගැටුම් හමුවේ හමුදාව බලවන්තවන ආකාරයට නීති ගැටුම් හමුවේ අධිකරණය බලවත් වීමත් එකම කාසියේ දෙපැත්ත බව යමෙකුට සිතිය හැකිවුවද නිවහල් සමාජයක් බිහිකිරීමේදී මේදෙකම රටකට සුදුසු නොවේ.

යුධ ගැටුම් හමුවේ හමුදාව බලවන් වීම හෝ නීති ගැටුම් හමුවේ අධිකරණය බලවත් වීම විවේචනය කිරීම නොව මේ දෙඅංශයේම බලවත් වීම ජනතාවගේ පරමාධිපත්‍ය අවභාවිතය කිරීමක් බවත් නිවහල් සමාජයක් බිහිකිරීම අවහිර කරන බවත් පෙන්වා දීම මෙම ලිපියෙන් අපේක්ෂා කරයි.

වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇති බව දක්වා ඇත. එමෙන්ම ජනතාව කොරෙහි පිහිටා ඇති එකී පරමාධිපත්‍ය අත්හැරිය නොහැකි බව දක්වා ඇත. එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4වැනි ව්‍යවස්ථාව අනුව ජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක කිරීමද, බුක්තිවිදීමද සිදුකරන ආකාරය දක්වා ඇති අතර එහිදී පරාමාධිපත්‍යයේ කොටස් 05න් ඡන්ද බලය පමණක් ජනතාව විසින් සෘජුවමත් අනෙක් කොටස් 04 වෙනත් ආයතන හරහාත් සිදු කරගත යුතුවෙයි. එහිදී  පරමාධිපත්‍යයේ කොටස් 04ක් වෙනත් ආයතන 3ක් (විධායකය, පාර්ලිමේන්තුව, අධිකරණය) මගින් සිදුකර ගැනීමට සිදුවීම හේතුවෙන් බලයේ සිටින දේශපාලන කණ්ඩායමකගේ අවශ්‍යතා මත එකී ආයතන 03 ක්‍රියාත්මක වන්නේ නම් ජනතාවගේ පරමාධිපත්‍ය දූෂණය වීම සහ අවභාවිතය සිදුවීම වැළක්විය නො හැකිය.

යුද්ධයකදී හමුදාව අයුධ අත දරාගෙන සිටිමින් ජනතාව පෙළන විට ජනතාව අසරණය. එමෙන්ම අධිකරණ බලය අත දරාගෙන සිටින්නන් නීතියෙන් ජනතාව පෙළන පෙළන විට ද ජනතාව අසරණ ය. හමුදාව වේවා අධිකරණය වේවා සිය බලය අත්තනෝමතිකව යොදාගන්නා විට සමාජයේ බලයක් නැති තැනැත්තෝ තව තවත් අසරණ වෙති. එහි ප්‍රතිඵලය ඛේදවාචකයකින් අවසන් වෙයි. 1971දී මෙන්ම 1988-89 දී දකුණේදීත්, 1975 සිට 2009 දක්වා උතුරේදීත් මහා ඝාතන සංස්කෘතියක් බිහිවුනේ ඒ අනුවය. මේ යන අකාරයට කටයුතු සිදුවවහොත් අනාගතයේ දීත් වන්නේ එයයි. එය වළක්වා ගැනීමේ සමාජ යුතුකමක් මෙනම සමාජ වගකීමක් රටේ සියළු පුරවැසියන් වෙත පවතී.

මේ සදහා හොදම උදාහරණය වන්නේ 2016 අංක 14 දරන අතුරැදන් වූ තැනැත්තන්ගේ කාර්යාල පනතේ 27.iii වගන්තියට “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂාකිරීම සඳහා වූජාත්‍යන්තර සම්මුතිය” ඇතුළත්වීම පිළිබද සමාජ කතිකාවයි. 2016 අංක 14 දරන අතුරැදන් වූ තැනැත්තන්ගේ කාර්යාල පනතේ 27.iii වගන්තියේ දැක්වෙන “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂාකිරීම සඳහා වූජාත්‍යන්තර සම්මුතිය” පිළිබද පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන්ට දැන්වත් කිරීමක් නොකර 2016.08.11 දින එකී නීතිය සම්මත කර ගැනීම නීතිය කෙතෙක් අවභාවිතයේ යොදන්නේද යන්නට මනා උදාහරණයකි. එකී ජාත්‍යන්තර සම්මුතිය වේ වන තෙක් රාජ්‍ය භාෂාවෙන් ලබා දීමට රජය කටයුතු කර නැත. නීතිය සගවන තත්ත්වයක් හමුවේ බලවතුන්ගේ සූදු පිටියක් බවට රටක් පත් වේ.

යොමු වන්න

OMP 27.iii ඇති “ජාත්‍යන්තර සම්මුතිය” වෙනම රටක් දක්වා යාමට දුන් මාර්ග බලපත්‍රයක් ද ? http://ift.tt/2cDbRP4

හමුදා පාලනය

යුද්ධ හමුදාව මගින් රටේ පාලන බලය අල්ලා ගැනීම විවිධ රටවල විවිධ කාලවකවානුවල සිදුවූ බව ඉතිහාසය පුරා සාක්‍ෂි සොයා ගත හැකිය. ඊජිප්තුවේ1952 දීත් ඉරාකයේ 1958 සහ 1963 දීත් යේමනයේ 1962 දීත් 1958 පකිස්‌තානයේත් බලය අල්ලා ගැනීමට එරට හමුදාවන් සමත් විය. එසේම  බුරුමයේ 1962 දීත් තුර්කියේ 1960දීත් සුඩානයේ 1958 දීත් නයිජීරියාවේ 1966 දීත් සිරියාවේ 1961 දීත් හමුදාව විසින් රටේ පාලන බලය අල්ලා ගැනීම සිදු විය.

යම් රටක පාලන බලය හමුදාව මගින් අල්ලා ගැනීමට ඉවහල්වල සාධක සහ ගොඩනැගෙන වාතාවරණය රටින් රටට වෙනස්‌ වූ බවත් එය බොහෝ දුරට රටේ පාලන බලය හිමිකරගෙන සිටින ඉහළ පැලැන්තියේ හැකියාව සහ ස්‌වභාවය මත තීරණය වන්නක්‌ බවත් පෙනී යයි. මෙලෙස රටක බලය හමුදාව විසින් අල්ලාගැනීම ඇතැම්විට රටේ සමාජ ස්‌ථායිතාවය නීතිය හා සාමය ස්‌ථාපිත කිරීමට පමණක්‌ සීමාවිය හැකිය. එසේ වන්නේ ඒ අවස්ථාවේ රටේ පවතින අනාරක්ෂිත බවයි. එනම් නීතිය, ජනසම්මතවාදය බිද වැටීමයි.

ශ්‍රී ලංකාවේ 1962 උත්සාහ කෙරුණු අසාර්ථක හමුදා කුමන්ත්‍රණයෙහි නායකත්වය ගනු ලැබුවේ සමාජයේ ඉහළ පැලැන්තියට අයත් හමුදා නිලධාරින් පිරිසකි. එදා ඔවුන් එලෙස හමුදා කුමන්ත්‍රණයක්‌ කළේ 1956 මෙරට ඇති වූ ජනබල විප්ලවය මගින් සමාජය තුළ සිදුවෙමින් තිබූ වෙනස්‌කම් තවදුරටත් ඔවුන්ට ඉවසා සිටීමට නොහැකි වුණ හෙයින් බව පැහැදිලිය. ඔවුන්ගේ මූලික අවශ්‍යතාව වූයේ පැරණි සමාජ සම්ප්‍රදාය රැක ගැනීමයි. එනම් යටත් විජිත තත්ත්වය මගින් ඔවුන්ට හිමිකරදුන් ආරක්ෂාව අහිමි වීම වළක්වා ගැනීමයි.

වෙනත් සමාජයන්හි සිදුවන්නේ හමුදාව තමන් සතු පුහුණුව සහ තාක්‍ෂණික හැකියාවන් ප්‍රයෝජනයට ගනිමින් ජාත්‍යාලයේ මුවාවෙන් සමාජ සංස්‌ථා තුළ බලය අත්පත් කර ගැනීමට උත්සාහ ගැනීමක්‌. එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාව තුළ සිදු වූයේ ද මේ හා සමාන දෙයක්‌. 2009 මැයි මස 19 වැනි දින නන්දිකඩාල් කළපුවේදී සිදු වූ යුධ ජයග්‍රහණයත් සමග නිවහල් බවේ මායිම් සොයා යෑම ආරම්භ කළ යුතු වුණද සුදකොඩි උගුලට හමුදාව සහ ආණ්ඩුව හසු කරමින් ජිනීවා මානව හිමිකම් යොදා ගනිමින් රටේ නිදහස සහ රටේ අනන්‍යතාවය අහුරනු ලැබීය.

නීතිය ක්‍රියාත්මක කරන්නන් මෙන්ම නීති සම්පාදකයන්ද සිය වගකීම් සහ යුතුකම් පොදු ජනතාවගේ සිත පිණිස ක්‍රියා නො කරන්නේ නම් ඒ තුළ මතුවන සමාජ ආරක්ෂාව තහවුරැ කරන්නේ හමුදා පාලනයක් විසින් බවට ඊජිප්තුව, ඉරාකය, යේමනය, පකිස්ථානය, බුරැමය, තුර්කිය, සුඩානය, නයිජීරියාව, සහ සිරියාව යන රටවල් මේ වන විටත් උදාහරණ සපයා ඇත. ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ක්‍රියාත්මක විය යුතු රටවල් ජනතාවගේ අපේක්ෂාවන් ජනතාවගේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක නොකරන විට ඊට ආදේශකයක් ලෙස හමුදා පාලනය යොදවීම සුදුසු සහ නිවැරදි තත්ත්වය නොවුණද වෙනත් විකල්පයක් මේ දක්වා හදුනානොගැනීමද ලෝකය හමුවේ ඇති ප්‍රභල අභියෝගයකි. ආරාජිකත්වය විසදුම හමුදා පාලනය නොවුණද විකල්පයක්ද මේ දක්වා හදුනාගෙන නොතිබීමද ගැටළු සංකීර්ණ කරයි.

ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ මැතිවරණ පවත්වන නියමිත අවස්ථාව වන තෙක් බලයේ සිටින ආණ්ඩු හෝ විධායකය ඉවත් කිරීමට ජනතාවට හැකියාවක් නැත. මැතිවරණයකින් තේරීපත්වන ආණ්ඩු හෝ විධායකය නීතිය සියතට ගනිමින් අධිකරණය සමග සමීප සම්බන්ධතා පවත්වමින් සහ අධිකරණ ප්‍රධානීන් පිනවමින් ජනතාව පෙළන අවස්ථාවක දී වුවත් එයට එරෙහිව නීතිය තුළ ක්‍රියාත්මක වීමට ජනතාවට අවස්ථාව නොළැඹී යයි. ජනතාව වෙනත් ආදේශක කරා යොමුවන්නේ එහෙයිනි.

අධිකරණ පාලනය

2015 ජනවාරි 08 වැනි දින ජනාධිපතිවරණයෙන් පසු නීතියේ පාලනය සදහා විප්ලවීය මෙහෙයුමක් දියත් කෙරුණ ආකාරය දක්නට විය.

2015 ජනවාරි මස 08 වැනි දින පැවති ජනාධිපති මැතිවරණයෙන් එවකට ජනාධිපතිව සිටි අපේක්ෂකයා පරදවා එම ආණ්ඩුවේම සිටි සෛඛ්‍ය ඇමතිවරයා ජනාධිපති ධූරයට පත් විය. ඒ පවත්වන ලද්දේ ජනාධිපතිවරණයක් වුවත් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන ලද ආකාරයට නීතිය ක්‍රියාත්මක කරන ලදී. පාර්ලිමේන්තුවේ 2/3ක මන්ත්‍රීවරයන්ගේ කැමැත්තෙන් අගමැතිව සිට මන්ත්‍රීවරයා ඉවත් කිරීමක් හෝ සිදු නොකර මන්ත්‍රීවරැ 41කගේ පමණ කැමැත්ත තිබූ විපක්ෂ නායකවරයා අගමැති ලෙස පත් කරන ලදී.

එමෙන්ම දෝෂාභියෝග ක්‍රියාවලියක් මගින් ධූරයෙන් ඉවත් කර සිටි අගවිනිසුරුවරිය නැවත ජනාධිපතිවරයාගේ තනි පත් කිරීමක් මගින් නැවත සේවයේ පිහිටුවන ලදී. එකී අගවිනිසුරුවරියඑක් දිනක් පමණක් සිය නිල කුටියේ අසුන්ගෙන විශ්‍රාම ගිය අතර පසුව ඉන්පසු වෙනත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු අගවිනිසුරු ධූරයට පත් කරන ලදී. මේ සියලු පත් කිරිම් සහ ඉවත් කිරීම් කරන ලද්දේ 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය  බලාත්මකව තිබියදී වන අතර 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 41 අ(1) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු සභාවේ නිරීක්ෂණ අනුව සිදු කළාද යන්න මෙම ලිපියෙන් සාකච්ඡා නො කරයි.

එමෙන්ම එකී අගවිනිසුරුවරියට එරෙහිව තීබූ අල්ලස් සම්බන්ධ සියලු නඩු කටයුතු ද සීඝ්‍රෙයන් ඉවත් කර ගන්නා ලදී.

මේ වන විට19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථ සංශෝධනය අනුව ස්වාධීන කොමිෂන් සභා ලෙස

(අ) මැතිවරණ කොමිෂන් සභාව

(ආ) රාජ්‍ය සේවා කොමිෂන් සභාව

(ඇ) ජාතික පොලිස් කොමිෂන් සභාව

(ඈ) විගණන සේවා කොමිෂන් සභාව

(ඉ) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන්සභාව

(ඊ) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව

(උ) මුදල් කොමිෂන් සභාව

(ඌ) සීමා නිර්ණය කොමිෂන් සභාව

( එ) ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවපිහිටුවා ඇත.

ස්වාධීන කොමිෂන් සභා 09ක් පිහිටුවා තිබුණද, ජාතීන් අතර අනෝන්‍ය සුහදතාවය වර්ධනය කිරීමට හේතුවන රාජ්‍ය භාෂා කොමිෂන් සභාව ස්වාධීන කොමිෂන් සභාවක් විය යුතු බවට දක්වා නො තිබීම පරස්පරතා මතු කරයි. 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ රාජ්‍ය භාෂා කොමිෂන් සභාව ස්වාධීන කොමිෂන් සභාවක් දක්වා තිබුණද යම් අදෘශ්‍යමාන බලපෑමක් හේතුවෙන් පනත සම්මත වන විට රාජ්‍ය භාෂා කොමිෂන් සභාව ස්වාධීන කොමිෂන් සභා ලැයිස්තුවෙන් ඉවත් කර තිබිණ. එනම් ජාතීන් අතර අනෝන්‍ය සුහදතාවය වර්ධනය කිරීමට හේතුවන නීතිමය ප්‍රතිපාදන බැහැර කරමින් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගෙන ඇත.

දැනටමත් පවතින ස්වාධීන කොමිෂන් සභාවල ධූරයන් විශ්‍රාම ලබන විනිසුරැවරැන්ගෙන් පිරවීම අනිවාර්‍යෙයන් සිදුවෙයි. එනම් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් සේවයෙන් විශ්‍රාම ලබන විනිසුරුවරුන්ට දිගින් දිගට සේවය සැපයීමට අවස්ථාව සළසා දී තිබේ. එනම් විනිසුරු දිවිය තුළදී ආණ්ඩුවට සහාය වන තීරණ ලබා දීමෙන් සේවයෙන් විශ්‍රාම ගිය අවස්ථාවක වුවද ස්වාධීන කොමිෂන් සභාවක තනතුර තහවුරු වන ආකාරයට වර්තමානයේ ආණ්ඩුකම ව්‍යවස්ථාව නිර්මාණය කෙරී ඇත.

මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුවට වග නොකියන බවට නීති සම්පාදනය කර ගැනීමත්, විනිසුරුවරුන්ට විශ්‍රම දිවිය ස්වාධීන කොමිෂන් සභාවල ගත කිරීමට අවස්ථාව සළසා දීමත් මගින් වර්තමාන ආණ්ඩුව අධිකරණ පාලනයක් සදහා අවස්ථාව විවෘත කර දී ඇත.

17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තිබූ මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුවට වගතිවයුතුය යන්න 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දී ඉවත් කිරීම මගින් පරමාධිපත්‍යයට වන බලපෑම

17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කැමැත්තෙන් සම්මත කරගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකි. එමගින් මැතිවරණ කොමිසම පිහිටුවීම සිදුකර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ආ.3අ ව්‍යවස්ථාව මගින්  මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුවට වගකිවයුතු වන බව දක්වා ඇත. 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස්කරමින් 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන ලද අවස්ථාවේ පවාමැතිවරණ කොමිසම පාර්ලිමේන්තුවට වගකිවයුතුය යන104 ආ.(3)ව්‍යවස්ථාව ඉවත් කර නොතිබුණි.

18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත්කර 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක නරන බවට කියු යහපාලන සංහිදියා හයිබ්‍රිඩි ආණ්ඩුව 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ තිබූ මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුවට වගකිවයුතු වන බවට විධිවිධානය ඉවත් කර ඇති බව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ (8වැනි ව්‍යවස්ථාව) 41අ.6) අනුව පැහැදිලි කරයි. එමෙන්ම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 23 වැනි ව්‍යවස්ථාව මගින් ව්‍යවස්ථාවේ 104 ආ .3 ව්‍යවස්ථාව ද ඉවත්කර ඇත. එනම් වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුවට වගකියන්නේ නැත.

මෙසේ තිබියදී පාර්ලිමේන්තුව විසින් මුද්‍රණය කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුවට වගකියන්නේ නැති බවට වන 41 අ. 6 ව්‍යවස්ථාවත් මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුවට වගකිවයුතු යි දැක්වෙන පැරණි 104 ආ.3) ව්‍යවස්ථාවත් දෙකම ඇතුළු කර ඇත. එනම් පාර්ලිමේන්තුව විසින් මුද්‍රණය කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බරපතල දෝෂයක් සිදු කර ඇත.

එනම් මේ වන විට පවතින නිවැරදි නීතිය වන්නේ මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුවට වගකිව යුතු නොවන බවයි. (19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ (8වැනි ව්‍යවස්ථාව) 41අ.6) අනුව)

ඒ අනුව පාර්ලිමේන්තුව උත්තරීතරය යන්න මැතිවරණ කොමිසම සම්බන්ධයෙන් ලංකාවේ වලංගු නොවේ. මැතිවරණ කොමිසමේ ඉන්නා සාමාජිකයන් 03 දෙනා වර්තමානයේ පාර්ලිමේන්තුවට වගනොකියන උත්තරීතර පුද්ගලයන් වී ඇත. අනෙකුත් සියලුම කොමිෂන් සභා පාර්ලිමේන්තුවට වගකිවයුතු වුවත් මැතිවරණ කොමිසම පමණක් පාර්ලිමේන්තුවට වගකිවයුතු වන්නේ නැත.

මේ කරුණු මගින් සනාථ වන්නේ නීතිය හෝ අවිය අත දරා සිටින්නන් සිය අධිකාරිය ක්‍රියාත්මක කරන විට බලයක් නොමැති ජනතාව තවදුරටත් පීඩාවට පත් වීමයි.මෙය පරමාධිපත්‍ය ජනතාවට අත්හැරීමට සිදු වී ඇති තත්ත්වයකි.

නීතීඥ උණවටුන කේ. අරුණ ලක්සිරිB.Sc(Col),PGDC(Col)

arunaunawatuna@gmail.com

2016.09.16



උපුටා ගැනීම : Lanka News Web Today
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment