බස්‌නාහිර, ඒකාබද්ධයේ බහුතර බලය ගිලිහෙයි.


පළාත් සභා සියල්ලේම මැතිවරණ එකම දිනෙක පැවැත්වීමට අදාළ යෝජනාව සහිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් බස්‌නාහිර පළාත් සභාවේ මතය විමසීමට ඊයේ (28දා) පැවැති විශේෂ සභා රැස්‌වීම මන්ත්‍රීවරුන්ගේ ගුටිකෙළි මැද සෙංකෝලයටද හානි සිදුවීමෙන් පසු ලබන මස (සැප්තැම්බර්) 04 වැනිදා තෙක්‌ කල් තැබීමට එහි සභාපති සුනිල් විඡේරත්න මහතාට සිදුවිය.

බස්‌නාහිර පළාත් සභාව එහි සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරු 10.00 ට රැස්‌විය. එහිදී 20 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සඳහා පළාත් සභා සියල්ලේම ඡන්දය එකම දිනෙක පැවැත්වීමට අදාළ යෝජනාවට සභාවේ අනුමැතිය ලබාගැනීමේ යෝජනාව සභාපතිවරයා විසින් සභාවට ඉදිරිපත් කරනු ලැබීය.

එයට පිළිතුරු දෙමින් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා සභාව විනාඩි 15 කට කල් තබා පක්‍ෂ නායකයන්ගේ රැස්‌වීමක්‌ කැඳවන ලෙස සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

එයට අනුමැතිය පළ කළ සභාපතිවරයා නැවත රැස්‌වීමෙන් මෙන් පසු සභාවට ඉදිරිපත් කළ 20 වැනි සංශෝධනයට බස්‌නාහිර පළාත් සභාවේ අනුමැතිය ලබාදීමට පෙර සංශෝධන ඇතුළත් කළ යුතු බවට මහ ඇමැතිවරයා යෝජනා කර ඇති බව පවසා ලබන මස 04 වැනිදා තෙක්‌ මෙම යෝජනාව කල් තැබීමට සභාවේ එකඟතාවය විමසා සිටියේය.

එහිදී ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මෙරිල් පෙරේරා මන්ත්‍රීවරයා සමඟ ඒකාබද්ධ විපක්‍ෂයේ වැඩි පිරිසක්‌ යෝජනාව විවාදයට ගත යුතු බවත් ඉන් අනතුරුව ඡන්දයකට යා යුතු බවටත් ප්‍රකාශ කළහ. ආණ්‌ඩු පක්‍ෂ හා විපක්‍ෂ මන්ත්‍රීවරුන් දැඩි ඝෝෂා පවත්වමින් ඊට විරෝධය දැක්‌වූහ. ඒ අනුව සභාපතිවරයා යෝජනාව ලබන මස 04 වැනිදා තෙක්‌ කල් තැබීමට සභාවේ මතය නැවත විමසා බෙදීමක්‌ පවතින බවට දැන ගැනීමෙන් පසු ඡන්දයක්‌ විමසීමට තීරණය කළේය.

එම අවස්‌ථාවේ පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරුන් දැඩි විරෝධතාවක නිරත වෙමින් සභාව මැදට පැමිණ සෙංකෝලය අසලට පැමිණි අතර වේත්‍රධාරීහු සෙංකෝලය රැක ගැනීමට ඒ අසලම රැස්‌වූහ. එහිදී දෙපක්‍ෂයේ මන්ත්‍රීවරුන් සෙංකෝලය උදුරා ගැනීමට තැත් කළ අතර එය කොටස්‌ කිහිපයකට කැඩී වෙන්වන අයුරු දක්‌නට ලැබිණි. එම අවස්‌ථාවේ මන්ත්‍රීවරුන් එක පොදියට පොරකමින් පහරදීගන්නා අයුරුද දිස්‌විය. 

අනතුරුව වේත්‍රධාරීහු මහත් පරිශ්‍රමයක්‌ දරා සෙංකෝළයේ කොටස්‌ එකතු කර කාමරයක්‌ තුළට රැගෙන ගියහ. එම අවස්‌ථාවේ අසරණ වූ සභාපතිවරයා ද සිය අසුනෙන් නැගිට ගියේය.

නැවත පැයකට පමණ පසු සභාපතිවරයා සිය අසුනට පැමිණ තමා මුලසුනට පැමිණීමට ප්‍රමාද වූයේ සෙංකෝලය අලවා ටේප්දමා නැවත යථා තත්ත්වයට පත් කිරීමට සිදු වූ නිසා යෑයි ප්‍රකාශ කළේය. එමෙන්ම සිය වසර 24 ක පළාත් සභා කාලය තුළ සිදු වූ අමිහිරිම සිදුවීම මෙය බවද හෙතෙම කීය. සභාපතිවරයාගේ එම ප්‍රකාශයෙන් පසු නැගී සිටි විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජෝර්- පෙරේරා මන්ත්‍රීවරයා එවැනි සිදුවීමක්‌ වූයේ සභාපතිවරයාගේ කොන්ද පණනැති වීම නිසා බව පැවසූ අතර එහිදී ආණ්‌ඩුපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ජෝර්- පෙරේරා මන්ත්‍රීවරයාට "හූ" කියමින් සිය විරෝධය පළ කළහ.

ජෝර්- පෙරේරා මන්ත්‍රීවරයා එම ප්‍රකාශය කරන අවස්‌ථාවේ අධ්‍යාපන ඇමැති රංජිත් සෝමවංශ මහතා ඔහුගේ ප්‍රකාශය අගයමින් මේසයට තට්‌ටු කරමින් සතුට පළ කළේය. තමා කිසි දිනක එවැනි දෙයක්‌ රංජිත් සෝමවංශ අමාත්‍යවරයාගෙන් අපේක්‍ෂා නොකළ බවත් ඉන් තමා මහත් කලකිරීමට පත්වූ බවත් සභාපතිවරයා පැවසීය.

ඉන් පසු යෝජනාව ලබන මස 04 වැනිදා තෙක්‌ කල් තැබීමට සභාපතිවරයා නැවත ඡන්දය විමසීමට කටයුතු කළේය. එහිදී එක්‌සත් ජාතික පක්‍ෂය, පළාත් සභා අමාත්‍ය මණ්‌ඩලය, එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සහ සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ කිහිපදෙනෙකු ඇතුළුව යෝජනාවට පක්‍ෂව ජන්ද 51 ක්‌ ලැබිණි. ඒකාබද්ධ විපක්‍ෂය සහ ජනතා විමුක්‌ති පෙරමුණ සමඟ යෝජනාවට විරුද්ධව ඡන්ද 41 ක්‌ ලැබිණි. එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී ශ්‍රීනාත් පෙරේරා මහතා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.

ඒ අනුව යෝජනාව ලබන මස 04 වැනිදා තෙක්‌ කල් තැබීමට වැඩි ඡන්ද 10 කින් අනුමැතිය ලැබී ඇති බව ප්‍රකාශ කරමින් සභාපතිවරයා එම යෝජනාව ලබන 04 වැනිදා තෙක්‌ කල් තැබීය.

බස්‌නාහිර පළාත් සභාවේ බහුතර බලය මෙතෙක්‌ ඒකාබද්ධ විපක්‍ෂයට හිමි වී තිබූ අතර එය ගිලිහී ගිය ප්‍රථම අවස්‌ථාව ඊයේ දක්‌නට ලැබිණි. 20 වැනි සංශෝධනය සඳහා බස්‌නාහිර පළාත් සභාවේ අනුමැතිය විමසීම ලබන 4 දා පැවැත්වෙන අවසන් ඡන්ද විමසීමේදී සිදුවේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment