සංහිඳියාව ගැන ඇමති රාජිත සහ ඇමරිකානු තානාපති අතර විශේෂ හමුවක්

සංහිඳියාව ගැන ඇමති රාජිත සහ ඇමරිකානු තානාපති අතර විශේෂ හමුවක්

මෙම හමුවෙන් අනතුරුව ඇමරිකානු තානාපති අතුල් කෙශප් මහතා ට්විටර් පණිවුඩයක් පළ කරමින් කියා තිබෙන්නේ එය ‘විශිෂ්ට ගණයේ සාකච්ඡාවක්’ වූ බවයි.

සෞඛ්‍ය ඇමතිවරයා වශයෙන් රාජිත සේනාරත්න මහතා විසින් පශ්චාත් යුධ ශ්‍රී ලංකාවේ සංහිඳියා යාන්ත්‍රණය යථාර්ථයක් බවට පත් කර ගැනීම සඳහා මතවාදී ලෙස මෙන්ම ප්‍රායෝගිකව ද මුල පුරා ඇති පියවර එහිදී ප්‍රශංසාවට ලක්විය. විශේෂයෙන්ම ලංකාවේ උතුරු නැගෙනහිර පළාත්වල ජීවත් වන යුද්ධයට ගොදුරු වී සෙමෙන් සුවපත් වෙමින් සිටින ජනතාවට දීර්ඝ කාලයක පටන් අඩුවක් ව පැවති රෝහල් පහසුකම් සැපයීම සම්බන්ධයෙන් ඇමති රාජිත මේ වන විට විශේෂ මුලපිරීම් රැසක් සිදු කර ඇත. පශ්චාත් යුධ මානසික ආකූලතාවලට ලක්වූවන්ගේ ප්‍රතිකාර පහසුකම් සඳහාම මාන්කුලම් ප්‍රදේශයේ මානසික රෝහලක් ද ඇතුළුව උතුරු නැගෙනහිර පළාත්වලට රෝහල් 30 ක් පමණ ලබාදීම සඳහා මේ වනවිට ඔහු විසින් මූලික පියවර ගෙන තිබේ.

ඇමරිකාවේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් තානාපති අතුල් කේශප් මහතා ඇමරිකානු රාජ්‍ය සේවයේ ඉහළ පෙළේ විදේශ සේවා නිලධාරියෙකු වශයෙන් නම් කරනු ලැබුවේ හිටපු ඇමරිකානු නායක බරාක් ඔබාමා විසිනි. 2010-2012 අතර කාලයේ දකුණු සහ මධ්‍යම ආසියානු කලාපය පිළිබඳ රාජ්‍ය දෙපාර්තමේන්තු බියුරෝවේ අධ්‍යක්ෂකවරයෙකු වශයෙන්, සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් සමග සමීපව කටයුතු කරනු ලැබුවේ අතුල් කේශප් ය. තවද 2013-2015 අතර කාලයේ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් සමග සමීපව කටයුතු කරමින් ඉන්දියාව, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව ට අදාළ වන ඇමරිකානු රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවූ පුද්ගලයා වශයෙන් ද අතුල් කේශප් සැලකේ. ඒ වන විට දකුණු ආසියානු රාජ්‍යයන් සඳහා නියෝජ්‍ය සහකාර ලේකම්වරයා වශයෙන් කටයුතු කරමින් සිටි අතුල් කේශප්, 2015 මැයි මාසයේ පටන් ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වූ ඇමරිකානු තානාපතිවරයා වශයෙන් පත් කරනු ලැබීය.

ශ්‍රී ලංකාවේ සංහිඳියා යාන්ත්‍රණයේ ප්‍රායෝගික සාර්ථකත්වය අන්තර්ජාතික සංසදයන් විසින් ප්‍රශ්න කෙරෙමින් සිටින අවධියක රාජිත සේනාරත්න වැනි අමාත්‍යවරයෙක් අතුල් කේශප් වැනි ඉහළ පෙළේ ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් සමග සමාන්තරව ස්ථානගත කිරීම විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමෝපායක් බව අපගේ විශ්වාසයයි. 

- අමාලි ජයවීර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment