ඇමතියෙක් හමුවෙන්න වාර 28ක් ගිය එජාප සංවිධායක


ඡන්ද 48,000 ක් ගත් තමාට ඇතැම් අමාත්‍යවරු මුණගැසීමට 28 වතාවක් යෑමට සිදුවූ බවත්, ඇතැම් ඇමතිවරුන් එසේ හෝ හමුවීමට නොහැකිවූ බවත්, හබරාදුව එජාප සංවිධායක ධූරයෙන් ඉවත් කරන ලද චන්ද්‍රලාල් අබේගුණවර්ධන මහතා කියයි.

ඔහු මේ බව කියා සිටියේ හබරාදූව සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමිනි.

චන්ද්‍රලාල් මහතා වැඩිදුරටත් මෙසේද කීය.

“මම අවුරුදු දෙකහමාරක් විතර මේ ආසනයේ වැඩ කරා. මම දන්නෙත් නෑ මාව සංවිධායක ධූරයෙන් අයින් කරා කියලා. හැබැයි මම කලින් ඉල්ලා අස්වීමේ ලියුම් තුනක් දීලා තිබුණා."

"හබරාදු ආසනය තුල චන්දිම ඇමතිතුමා එතුමාගේ දක්ෂකමට හරි රැකියා 300 දෙන කොට මට දෙන්න පුළුවන් වුනේ රැකියා දෙකයි. එතුමා ඇමති තමයි. නමුත් මම ආණ්ඩුපක්ෂයේ හිටපු සංවිධායක. අපේ පක්ෂයෙන් මට ලැබුනේ  රැකියා දෙකයි. ඒ දෙක මම පිටට  දුන්නා කියලා සමහරු හඩ නැඟුවට  ඒ දෙකම මම හබරාදුවට දුන්නා. මම අදක්ෂයෙක් කියලා කියනවා, ඉවසීම නෑ කියනවා, මට කරන්න බෑ කියනවා, ඔය කොයි කතාව කිව්වත් මම හබරාදුවට වැඩ කරා. චන්දිම ඇමති තුමා කියන්නේ අති දක්ෂයෙක්. එතුමා එක්ක මම මුලින් රණ්ඩු වුනා තමයි නමුත් පස්සේ එතුමා එක්ක සහයෝගයෙන් වැඩ කරා.”

"මේක මගේ තාවකාලික සමුගැනීමක් විතරයි. මම අයිත් පොලවේ පය ගහලා ඉන්න නායකයෙක් එක්ක දේශපාලනය කරනවා. ඒක ජවිපෙ වෙන්න පුළුවන්, චන්දිම ඇමතිතුමා සමඟ වෙන්න පුළුවන්, හිටපු ජනපති එක්ක වෙන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ එක්ක වෙන්නත් පුළුවන්. හැබැයි ඡන්ද 48000 ක් ගත්ත සංවිධායක වරයෙක් 28 වතාවක් ගිහිල්ලත් ඇමතිවරුයෙකු හමුවෙන්න බැරි නම් මේ දේශපාලනයෙන් වැඩක් නෑ. එහෙම ආණ්ඩු වලින් වැඩක් නෑ.”

නිමල් අල්ගෙවත්ත - හබරාදූව වාර්තාකරු

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment