මංගල - අයවැය ලේඛනයකින් ඔබ්බට..

මංගල - අයවැය ලේඛනයකින් ඔබ්බට..

පශ්චාත් යටත්විජිත රටක් වශයෙන් ශ්‍රී ලංකාව සමස්තයක් වශයෙන් මේ දක්වා දියුණු වී ඇත්තේ නවීරකරනය මූලික කරගනිමිනි. නවීකරණය යනු බටහිර දියනුව හා සංස්කෘතිය අප විසින් වැළද ගැනීම වෙනුවෙන් භාවිතා කරනු ලබන වචනයයි. නවීකරණයක් රටට අවශ්‍ය වේ. මංගල “ඩිජිටල්කරණය“ රටේ නව්‍යාත්මක නවීකරණ සාධකය බවට පත් කර ඇත. එය රටේ අවශ්‍යතාවයකි. රට අනෙක් රටවල් සමග කරට කර පැවැතීම සදහා එය අවශ්‍ය වේ.

රටක් දුවන්නේ රජය නිසාද? නැත, රටක් දුවන්නේ මිනිසුන්ගේ දෛනික ක්‍රියාකාරිත්වය නිසාය. අයවැයක් කරන්නේ මේ මිනිසුන්ගේ දෛනික දිශානතියේ අංශක ගණන මාරු කිරීමයි. එය එක්තරා ආකාරයකට සූත්‍රයකි. අවසානයේදී සරලව රාජ්‍ය ආදායම හා වියදම පියවීමේ මෙහි ප්‍රතිඵලයයි. අයවැය කවුරු ගෙනාවත් සිදු කල යුතු මූලික කාරණය මෙයයි.

වියදම් කිරීම හොඳ දෙයකි. වියදම් දැරීම අසීරු දෙයකි. ණය ගැනීම සහනයකි. ණය ගෙවීම අසහනයකි. අප ලෝකයේ ඉහළ ණයකාර රටකි. ණය පියවීම සදහා අයවැයෙන් මුදල් වෙන් වූ පසු එය වඩාත් ධරනීය අයවැයක් බවට පත් වන්නේ නැත.

අයවැයක් වඩාත් සාර්ථක වීමට නම් එය පොදු මිනිසුන්ගේ ස්පර්ශයෙන් වෙනස් විය යුතුව ඇත. නමුත් ලංකාව ගත් ණය කන්දරාව අනුව පොදු මිනිසුන්ට මේ ගැන කතා කල නොහැකිය. අයවැය තබා ටොපියක් විකිනීම සදහා පවා මිනිසුන්ගේ ස්පර්ශය අවශ්‍ය වේ. අයවැය සාර්ථක කරගැනීම සදහා විශ්වවිද්‍යාල 12ක සම්බන්ධතාවය හා පොදුජන අදහස් ලබාගෙන ඇත. ඒවා පොදුජන වන්නේ කෙසේද යන්න තීරණය වන්නේ අයවැයෙහි ක්‍රියාකාරිත්වය මත මිස කියවීම මත නොවේ.

මේ සිදු කරන්නේ බාධාවක් හෝ විවේචනයක් නොවේ. නමුත් ලංකාවේ සියළු ව්‍යුහයන් විසින් එම ව්‍යුහ තුල භාවිතා කරනු ලබන සම්පත් පොදු මිනිසුන් වෙනුවෙන් ලබා දෙන්නේ නැත. නැතහොත් ඒවා දරුණු කාන්දුවීම් මගින් එම ව්‍යුහ වල පැවැත්ම තහවුරු කරගැනීම කරා යොමු වේ. මෙය උදාහරණයක් මගින් දක්වමු.

අයවැයෙන් මුදල් වෙන් කෙරේ.. මුදල් වෙන් කෙරේ.. මුදල් වෙන් කෙරේ.. මුදල් වෙන් කිරීම යනු කුමක්ද? තවත් කෙනෙකුට මුදල් ලබාගත හැකි බවයි. මුදල් වලින් සුඛ විහරණයන් අත් වන බවයි. ඒත් රාජ්‍ය මුදල් වෙන් කිරීම් මගින් සිදු විය යුත්තේ කුමක්ද? එය එසේ වන්නේ ද? අධ්‍යාපනයට මුදල් 6%ක් වෙන් කල පසු අධ්‍යාපනය ගුණාත්මක වනවාද? මෙය ගැටළුවකි. මුදල් යනු එක්තරා සම්පතක් පමණි.

ලංකාව තුළ රාජ්‍ය මුදල් වියදම් වීම හා මුදල් වියදම් කිරීම වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කිරීම පොදු දේශපාලනික කාර්යයකි. ඉන් නිශ්චිත ව්‍යාපාරිකයින් පිරිසක් අඩු තරමින් 30%ක ලාභයක් තබා ගනී. මුදල් වලින් සිදු වන්නේ කොන්ක්‍රීට් මිශ්‍රණයන් හා පාරවල් සකස් වීමයි. ඉන් පසුව පරිගණක හා වායු සමීකරණ සකස් කර රාජ්‍ය සේවකයින් සිටිති.

මුදල වෙන් වන්නේ යම් සංකල්පයක් මුල් කරගෙන නම් එම සංකල්පය සදහා වන වගකීම හා වැදගත්කම ලංකාව තුළ හුවා දැක්වෙන්නේ නැත. මුදල යනු “භයානක වියදම් කිරීමේ ද්‍රව්‍යයක්“ පමණක් බවට පත්ව තිබේ. මේ සදහා වන ගුණාත්මක ප්‍රවේශය ලබාගැනීමට සමත් රාජ්‍ය නිලධාරින් යාන්ත්‍රණය තුළ සිටීද යන්න අයවැයෙන් විමසිය යුතු ප්‍රශ්නයකි.

වසර 70ක් මුදල් වියදම් කර ඇත. නමුත් අනෙකුත් සම්පත් වියදම් කර ඇත්ද යන්න අයවැය තුළ ගොඩනැගිය යුතු ප්‍රශ්නයයි. මංගල නිසි ලෙස අඩිය තබා තිබේ. සංකල්පනාත්මක හා නෛතිකමය වශයෙන් ද ප්‍රායෝගික වශයෙන්ද ලංකාවට අයවැයක් ගෙන තිබේ.

නමුත් අයවැයක් යනු “මුදල් හා වියදම් ආදායම්“ කතාවක් නොවේ. එය සංවර්ධනය පිලිබඳව කතාවකි. එය සංකල්පනාත්මක වෙනස්වීම් ඉදිරි වසර තුළ ගැනීම පිලිබද කතාවකි. එය ලීෆ් මල මිල අඩු කිරීම හෝ පෙට්‍රල් අඩු කිරීම පිලිබද කතාවක් නොවේ. රටක් ගැඹුරු ලෙස වෙනස් කිරීම පිනිස ගණු ලබන තීරණයකි. එය ත්‍රීවීල් ඉලෙක්ට්‍රික් කිරීමක් නොවේ. විශ්වවිද්‍යාල වල බිල්ඩින් ගොඩගැහීම සදහා මුදල් වෙන් කිරීමක් ද නොවේ. ටැබ් ලක්ෂ දෙකක් ගෙන ගේම් ගැසීමට කාලය ලබාදීමක් ද නොවේ.

නමුත් සිදුවීමට නියමිත දේ අත්දැකීමෙන්, ඉඟියෙන් හා භාවිතයෙන් රට දනී. අයවැය යනු ලේඛණයක් නොවේ. අයවැයක් යනු සැලසුමක් පමණි. සැලසුමක් යනු හුදු ලිඛිතයක් පමණි. ලිඛිතය හා ක්‍රියාකාරිත්වය අතර ලංකාවේ ඇත්තේ දැවැන්ත පරතරයකි. එය අතිශය දැවැන්ත පරතරයකි. සැලසුම ක්‍රියාකාරී ද්‍රව්‍යයක් බවට පත් කරන්නට මානව මැදිහත්වීම් අවශ්‍ය වේ. මෙම මානව මැදිහත්වීම් ඉහළ ගුණත්වයෙන් තිබිය යුතු වේ. අයවැයෙන් කිසිවක් සිදු නොවන්නේ මේ නිසාය. අයවැය සංතුෂ්ඨිය හා භීතිකාව දෙසැම්බර් උත්සව සමයෙන් අවසන් වන තවත් එක් ලාංකීය දෙයක් බවට නොවීමට කොතරම් වෙහෙස වීය යුතුද?

- සරෝජ් හේමන්ත ද සිල්වා

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment