ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් 65 දෙනාගෙන් වැඩි පිරිස බෝම්බ යනාදිය නිසා ලද මාරක තුවාළවලින් මරණයට පත්වූවෝ වෙති. මේ 65 දෙනාගෙන් 50 දෙනෙක්ම වෘත්තීය මාධ්‍යවේදීන් ය. කෙසේ නමුත් දේශසීමා රහිත වාර්තාකරුවන් විසින් අනාවරණය කරන පරිදි ගතවූ වසර 14 තුළ මාධ්‍යවේදීන් අඩුවෙන්ම ඝාතනය වූ වර්ෂය වන්නේ ද 2017 වීම කැපී පෙනෙයි. ඔවුන් පෙන්වා දෙන්නේ මාධ්‍යවේදීන් ව රැක ගැනීම සම්බන්ධයෙන් මේ වන විට ලෝකයේ වැඩි අවධානයක් යොමු වී ඇති බවයි. 2006 වසරේ පටන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රෙගුලාසි ගණනාවක් පනවා ඇත. එසේම ඇතැම් ප්‍රවෘත්ති ආයතන විසින් ද ඒ සඳහා විශේෂ ආරක්ෂණ උපක්‍රම භාවිතා කරමින් සිටියි.
කෙසේ නමුත් මාධ්‍යවේදීන්ගේ ඝාතනවල අඩුවීම, මාධ්‍යවේදිනියන් ගේ ඉරණමට අදාළ නොවේ. එනම්, 2017 වසරේදී පෙර වසරට සාපේක්ෂව මාධ්‍යවේදිනියන් දෙගුණයක් වැඩියෙන් ඝාතනයට ලක් වී තිබේ. ඒ ඉරණමට ලක්වූ මාධ්‍යවේදිනියන්ගෙන් බහුතරය මනා ලෙස අත්දැකීම් ලත්, යුද්ධය පිළිබඳ ගවේෂණාත්මක මාධ්‍යරකණයේ නියැළි මාධ්‍යවේදිනියන් ය. තවද ජීවිත තර්ජන නොතකා ඔවුන් දිගින් දිගටම දූෂණ ආදිය පිළිබඳ ගවේෂණය කර ඒවා හෙළිදරව් කළ මාධ්‍යවේදිනියන් ය. ‘විකි ලීක්ස් ගැහැනිය’ යනුවෙන් හැඳින්වූ මෝල්ටාවේ ඩැෆ්නි කරුවානා ගැලීෂියා, ඉන්දියාවේ ගෞරි ලංකේෂ් සහ මෙක්සිකෝවේ මිරොස්ලාවා බ්‍රීච් වෙඩුල්ෂියා මේ අතර කැපී පෙනෙයි.
සක්‍රිය ලෙස යුද්ධ නොකරන හෝ යුද්ධවලට පැටළී නැති ඇතැම් රටවල්, යුධ කලාප තරමටම මාධ්‍යවේදීන්ට අනතුරුදායක වීම, 2017 වසරේදී දැකගන්නට ලැබුණු තවත් එක් ප්‍රවණතාවයකි. එනම් ඉහත කී සියලු මාධ්‍යවේදී-මාධ්‍යවේදිනී ඝාතනවලින් 46%ක්ම සිදු වී ඇත්තේ සක්‍රිය යුද්ධයක් කිසි සේත්ම නොපවතින රටවල ය. 2016 වසරේදී එම ප්‍රතිශතය 30% ක් පමණක් විය. උදාහරණයක් ලෙස, ලොව දරුණුම සිවිල් යුද්ධය පවතින සිරියාවෙන් මාධ්‍යවේදී ඝාතන 12 ක් වාර්තා වන විට යුද්ධයක් නැති මෙක්සිකෝවේ මාධ්‍යවේදීන් 2017 වසරේදී 11 දෙනෙක් ඝාතනය කර තිබේ.
මාධ්‍යවේදීන්ට ලොව භයානකම රට බවට 2017 වසරේදී පත්ව තිබෙන්නේ මෙක්සිකෝවයි.
“දූෂණ, වංචා සහ පාරිසරික ගැටළු සම්බන්ධයෙන් ගවේෂණාත්මක මාධ්‍යකරණයේ නිරත වන මාධ්‍යවේදීන්, එම වාර්තාකරණය කරදරයක් වන පාර්ශවයන්ගේ ඉලක්ක බවට පත්ව තිබෙනවා” යැයි දේශසීමා රහිත වාර්තාකරුවෝ සංවිධානයේ මහ ලේකම් ක්‍රිස්ටෝෆ් ඩෙලොයර් පවසයි.
මේ අතර සිරගත කර සිටින මාධ්‍යවේදීන්ගේ සංඛ්‍යාව පෙර වසරට වඩා අඩු වී ඇති බව ද මෙම සංවිධානය පෙන්වා දෙයි. 2017 දෙසැම්බර් 1 වැනිදා වන විට එසේ සිරගත කරගෙන සිටින මාධ්‍යවේදීන් සංඛ්‍යාව 326 දෙනෙක් විය. මෙය, 2016 වසරේ එම අගයට වඩා 6%ක අඩුවීමකි.
නමුත් ඇතැම් විශේෂිත රටවල මාධ්‍යවේදීන් බලෙන් රඳවා තබාගෙන සිටින බව පෙනෙන්නට තිබේ. මෙය සිරගත කිරීමට වඩා නරක තත්වයක් වන්නට ද පුළුවන. මෙසේ කරන රටවල් අතර රුසියාව සහ මොරොක්කෝව විශේෂිත ය. මාධ්‍යවේදීන්ව වැඩිවශයෙන්ම සිරගත කරන රටවල් දෙක බවට 2017 වසරේදී පත් ව තිබෙන්නේ චීනය සහ තුර්කියයි.
අයි එස් භටයන් සහ යේමනයේ හූතී ගරිල්ලන් වැනි රාජ්‍ය නොවන-සන්නද්ධ ත්‍රස්තවාදී කල්ලි විසින් 2017 වසරේදී රඳවා තබාගෙන සිටින මාධ්‍යවේදීන් සංඛ්‍යාව 54 දෙනෙකි. මෙම රඳවා තබාගැනීමට කිව හැකි සමාන වචනයක් වන්නේ ප්‍රාණ ඇපයට ගැනීමයි. මෙසේ ප්‍රාණ ඇපයට පත් ව සිටින මාධ්‍යවේදීන්ගෙන් හතරෙන් තුනක්ම, කුඩා දීමනා හෝ වැටුප්වලට අසාමාන්‍ය අවදානමක් ගෙන වැඩ කරන දේශීය මාධ්‍යවේදීන් බව ද හඳුනාගෙන තිබේ. මේ වන විට ප්‍රාණ ඇපකරුවන් වශයෙන් විදේශීය මාධ්‍යවේදීන් ව රඳවාගෙන සිටින එකම රට වන්නේ සිරියාවයි.
- අමාලි ජයවීර
සම්පූර්ණ වාර්තාව මෙතැනින් කියවන්න.
http://ift.tt/2oM0FLg
0 comments :
Post a Comment