කබීර් සමග ගැටුමක් - රිෂාඩ් සහ සේගු දාවුඩ් මොණරා ලකුණින්.


එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පෙරමුණ ආසන බෙදීම සම්බන්ධයෙන් ඇතිවූ මතබේද වලින් අනතුරුව ආණ්ඩුවේ ඇමැතිවරයකු ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග වැදීම සඳහා නව පෙරමුණක් පිහිටුවාගෙන තිබේ.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොන්ග්‍රසය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් වෙන්වූ බෂීර් සේගු දාවුඩ් මන්ත්‍රීවරයාගේ එක්සත් සාම සන්ධානය හවුල මොණරා ලකුණින් එක්සත් ජනතා සන්ධානය ලෙසින් තරග වදින බව ඉරිදා කොළඹ දී ප්‍රකාශයට පත් කරන ලදී.

මුස්ලිම් බහුතරයක් වෙසෙන නැගෙනහිර පලාතට මුලින්ම තරග වදින නව සන්ධානය පළමුකොට අම්පාර දිස්ත්‍රික්කය වෙනුවෙන් නාමයෝජනා භාරදෙන බව මාධ්‍යවේදීන් ඇමතූ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ස්වෛරී භාවය රකින බව නව සන්ධානයේ නායකත්වය භාරගනිමින් කියා සිටි ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ හිටපු මහලේකම් එම් ටී හසන් අලි ප්‍රකාශ කළේ එක්සත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් සියලු ජනවර්ග වල සාමුහික ප්‍රවේශයක් වෙනුවෙන් කටයුතු කරන බවයි.

'' ගිහින් බැසිල්ටම එකතු වෙනවා'' - කබීර්


එක්සත් ජාතික පෙරමුණේ ආසන බෙදා ගැනීම සම්බන්ධයෙන් එජාප මහ ලේකම් කබීර් හෂීම් සමග ඇතිවූ දැඩි වචන හුවමාරුවකදී “අපි අනික් පැත්තේ ඉන්නකොට බැසිල් රාජපක්ෂ අපිට රජුන්ට වගේ සැලකුවා,” යි බදියුදීන් අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුනි.

එහි සඳහන් වූ පරිදි හෂීම් අමාත්‍යවරයා පිළිතුරු දී ඇත්තේ “එහෙනම් ගිහින් එයාටම එකතු වෙනවා,” යනුවෙනි.


රාජපක්ෂ පාලනයේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය ධූරය ඉසිලූ තමන් 2014 දෙසැම්බරයේ ඉන් ඉවත් වී වර්තමාන ජනාධිපතිවරයාට සහාය පල කිරීම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බහුතරය අහිමි වීමට හේතුවූ බව ඇමැති රිෂාඩ් බදියුදීන් පවසයි.

පළාත් පාලන ආයතන 93 කට තරග වැදීම සඳහා ඊයේ (11) ආරම්භ වූ නාම යෝජනා භාර ගැනීම් දෙසැම්බර් 14 දායින් අවසන් වන බව මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කර ඇත.

තවත් පළාත් පාලන ආයතන 243 ක් සඳහා දෙසැම්බර් 18 සිට 20 දක්වා නාම යෝජනා භාරගනු ඇති බව කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

ලබන වසරේ පෙබරවාරියේ ඡන්ද විමසීම සිදු කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

(මුලාශ්‍රය - radiogagana)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment