මොහොතකට හිතුවොත් අර නිරපරාදේ අතුරුදහන් වුණ තරුණයින්ගේ මව් පියෝ සහෝදර සහෝදරියෝ ඥාති හිතමිතුරන් ගැන,2009 වසරේ ඉදන් අද දක්වාම ඔවුන් තමන්ගේ දරුවෝ, හිතෛෂීන් හොයනවා. හෙවනැල්ලවත් නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් බොහෝ දේ අනාවරණ වී ඇතත් තවමත් මෙය අධිකරණය හමුවේ පවතින්නක් නිසා ඒ මැද්දට පනින්න අපට හැකියාවක් නැහැ. හැබැයි ඉතින් දසනායකලා උනත් ආවට ගියාට අත්අඩංගුවට ගන්න බැහැ කියන එකත් අපි මතක තියා ගන්න ඕනේ. උදාවෙන දවසක් දවසක් ගානේ බුදුන්ට දෙයියන්ට පහන් පත්තු කරන්නේ දරුවෝ දැකීමේ අශාවෙන්. බලාපොරොත්තුවෙන්. ඇස් බැඳලා ඉන්න යුක්තියේ දෙවඟන දිහා බලාගෙන උසාවියේ බංකු රත්කරන්නේ ඒ සෙනෙහස නිසා නෙවෙද? මංජරී, බන්ධනාගාර ගතව පේන මානයේ ඉන්න තාත්තව ඉල්ලනවා. අර මිනිස්සු අවුරුදු 9 තිස්සේ තමන්ගේ දරුවන්ට මොකද වුණේ කියලා හොයනවා. මේ හිත් සියල්ලම මේ මොහොතේ ගින්දරෙන්. හැබැයි යුක්තියත් පසෙකින් බලා ඉන්නවා කියන එක අමතක කළ යුතු නැහැ.
දසනායකලට තිබුණ,තියෙන තුරුම්පුව රණ විරු ලේබලය. "රට ජාතිය බෙර ගත්ත රණ විරුවෝ" , මැස්සෙක්වත් වහන්න දෙන්න හොඳ නැහැ. අඹ මල් රේණුවකවත් වැරද්දක් නැති මිනිස්සු. වැරද්දක් තිබුණත් එය සැලකිය යුතු නැහැ. මොකද ඔවුන් රණ විරුවෝ. මොන මජර වැඩේ කළත් ඔවුන් රණ විරුවෝ. එහෙම වෙන්න පුළුවන්ද ? ඒක සාධාරණද ? මංජරී උනත් කියන්නේ "වෝ හීරෝස්" කියලා. ඕනෑම දරුවෙකුට තමන්ගේ අම්මා,තාත්තා විසල් ලෝකයක්. හැබැයි ඒ අම්මා,තාත්තා නිසා තවත් දරුවෝ,මව්පියෝ,සහෝදර සහෝදරියෝ මැරී මැරී උපදිනවනම් කවුරු කවුරුත් යතාර්ථයට මුහුණ දෙන්න ලෑස්ති වෙන්න ඕනේ.
පැහැරගෙන අතුරුදහන් කළ තරුණයින්ට තිබුණ චෝදනාව ඔවුන් LTTE හිතවතුන් බව. නමුත් ඒක පට්ටපල් බොරුවක් කියන්න සනාථ වෙලා හමාරයි. පැහර ගැනීම කප්පම් සිද්ධියකට බවත් කරුණු කියවුණා. 2009 ඉදන් අද වෙනකම් මේ තරුණයින්ට මොකද වුණේ කියන එක නිශ්චිත වශයෙන් සමාජයට අනාවරණය කර නැහැ. රාජපක්ෂ පාලනය යුද්ධය අවසන් කරලා වීරයෝ විදිහට සමාජගාත වුණා. හැබැයි ඒ වීර වෙස් මුහුණු ඇතුළේ සැඟවිලා තිබුණ සාපාරධීකම් එකින් එක සමාජයට පෙනෙන්න ගාත්තා. මේ තරුණයෝ අතුරුදහන් වෙද්දී, තවත් පැත්තකින් මාධ්‍යවේදීන් ඝාතනය වුණා. සමහරු ජීවිතය බෙර ගන්න,දරුවෝ බේරගන්න,රට දාලා ගියා, තවත් දේශපාලන අභියෝග නිසා අතුරුදහන් වීම සිදු වුණා. ඛේදවාචක බොහොමයක් සිදු වුණා. නමුත් කොතනද වැරදිකරුවෝ සමාජය ඉදිරිපිටට ගෙනාවේ. ජීවත්ව ඉන්න ඔවුන්ගේ ඥාතින් මුළු ජීවිත කාලෙම විඳවනවා.
මංජරී තමන්ගේ තාත්තව නිදහස් කරන්න කියලා ඉල්ලද්දී, එක්සත් ජාතීන්ගේ නියෝජිත කණ්ඩායම ඇයව ප්‍රතික්ෂේප කරද්දී ඇය මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයෙන් අනතුරුව තවත් තරුණියක් තමන්ගේ මුහුණු පොතේ සංවේදී සටහනක් තබනවා. ඇය මේ වෙද්දී නිරූපණ ශිල්පිනියක්, නිළියක් විදිහට රටේ ජනප්‍රිය චරිතයක් වන ශනාලි වීරසිංහ. ඇගේ එකම සහෝදරයාත් මේ අතුරුදහන් තරුණයන් 11 දෙනා අතරින් කෙනෙක්. මංජරීගේ පියා නාවික හමුදා නිලධාරියෙක් වෙද්දී ශානාලිගේ තාත්තත් යුධ හමුදාවේ විශ්‍රාම ගිය නිලධාරියෙක්. මෙතෙක් කාලයක් තමන්ගේ හිතේ හිරකරන් සිටි වේදනාව ශනාලි තමන්ගේ මුහුණු පොතෙන් එළියට දානවා. යුධ හමුදාවේ සේවය කළ තමන්ගේ පියා අද උසාවියේ බංකුවක් මත හිඳගෙන පුත්‍රයා වෙනුවෙන් යුක්තිය බලාපොරොත්තු වෙන්නේ සිය සහෝදර හමුදා නිලධාරීන්ගෙන් බව ශනාලි මතක් කර දෙනවා. ඉතින් දැන් අපිට "වෝ හිරොස්" ලා ඇත්ත ඇති සැටියෙන්ම හදුනා ගන්න මේ වෙලාව.
වසර නවයක් පුරා ඒ ඇස් වලින් ගැලු කඳුළු තාමත් ඉවරයක් නැහැ.
තවදුරටත් මේ මිනිස්සු යුක්තිය වෙනුවෙන් බලා සිටිය යුතුද? හැමදාමත් දේශපාලන බලපුළුවන්කාරකම් වලින් තැලෙන්නේ පොඩි මිනිස්සු. ශානාලිට තමන්ගේ අයියා වෙනුවෙන් තාමත් සාධාරණය ඉටුවෙලා නැත්තේ ඒ නිසා. පෘතග්ජන අපි හැමෝටම ප්‍රියයන්ගේ වෙන්වීම දරාගන්න බැහැ. ඒක කාටත් පොදුයි. මංජරී ඒකට හොද උදාහරණයක්. මංජරීටත් තාත්තා ඕන වගේම අර තරුණයන්ගේ මව් පියන්ටත් තමන්ගේ දරුවෝ ඕනේ. ඔවුන්ට මොකද වුණේ කියලා දැනගන්න ඕනේ.
මේ සිද්ධි පිටිපස්සේ තියෙන දේශපාලනය අපි තේරුම් ගත යුතුයි. බලය තිබුණ පලියට මිනිස්සු මරන්න, අතුරුදහන් කරන්න අයිතියක් නැහැ. හැබැයි ඒ නොවිය යුත්ත මේ බිමේ සිද්ධ වුණා. තාමත් ඒ ඉතිහාසයේ වැරදි නිවැරදි කරන්න, මොහොතින් මොහොත මැරී මැරී උපදින මිනිස්සුන්ට සාධාරණයක් කරන්න හැකි වෙලා නැහැ. මංජරීත් මේ යතාර්ථය තේරුම් ගත යුතුයි.
ආශිකා බ්‍රාහ්මණ
0 comments :
Post a Comment