20 ජවිපෙ තනියම ගේනවලු

20 ජවිපෙ තනියම ගේනවලු

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා,

" දේශපාලන අස්ථාවර තත්ත්වයන් ජනතාවට හිතකර තත්ත්වයකට පත්කර ගැනීමට ව්‍යවස්ථාවට බලගතු සංශෝධනයක් ගේන්න ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබෙනවා. ඒ අන් කිසිවක් නොව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ව්‍යාවස්ථාවට 20 වැනි සංශෝධනය ගෙන ඒමයි. මොකද විධායක ජනාධිපති ධුරය ආපු වෙලාවේ සිටම වමේ ව්‍යාපාර, ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන ව්‍යාපාර විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවට ප‍්‍රකාශ කළා. ජනතා විමුක්ති පෙරමුණ පළමුවැනි විධායක ජනාධිපතිවරයා බිහිවූ දා සිටම එම ධුරය අහෝසි කරන්න කියලා සටන් කළා. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වැනි බලගතු සංශෝධනයක් පක්ෂයක් ලෙස අපට තනිව කරන්න පුළුවන්කමක් නැහැ. එයට පාර්ලිමේන්තුවේ 2/3 බහුතරයක් අවශ්‍යයි. කෙසේ වෙතත් අනෙකුත් දේශපාලන පක්ෂවල කට්ටිවාදී වුවමනාවන් නිසා එම සංශෝධනය සම්මත කරගන්න මෙතෙක් නොහැකි වී තිබෙනවා.

1994 සිට මේ වන තෙක් විධායක ජනාධිපති ධුරයට පත්වූ සියලු දෙනා ජනාධිපතිවරණයේදී ජනවරම ඉල්ලා සිටියේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නයි. මෛත‍්‍රීපාල සිරිසේනගේ ජනාධිපතිවරණයේ ප‍්‍රධාන සටන් පාඨයක් වුණේ විධායක ජනාධිපතිවරණය අහෝසි කිරීමයි. ඔහු මැතිවරණ වේදිකාවල පුනපුනා එය එය ප‍්‍රකාශයට පත් කළා. දිවුරුම් දෙන අවස්ථාවේදී කිව්වා, අපේ රටේ නැවත ජනාධිපතිවරණයක් නැති බව. ඒ වගේම ඔහුගේ ජනාධිපතිවරණ සටනේ ප‍්‍රධාන පාර්ශ්වකරුවෙක් වූ සෝභිත හිමියන්ගේ දෙණ ඉදිරිපිටදී ඔහු ප‍්‍රකාශ කළා, විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න තමන් සූදානම් කියලා. ජනාධිපතිවරණයේදීත් ජනාධිපති වීමෙන් පසුවත් අවස්ථා තුනකදී විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව රටට ප‍්‍රකාශ කර තිබෙනවා.

විධායක ජනාධිපති ධුරය නිර්මාණය කළ එක්සත් ජාතික පක්ෂයත් විවිධ අවස්ථාවලදී විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව කියා තිබෙනවා. එහෙත් එජාපය තමන්ට ජනාධිපති ධුරය ලබාගන්න පුළුවන් බව දැනෙන කොට එම සටන් පාඨය අමතක කරනවා. රනිල් වික‍්‍රමසිංහ මේ වන විට තමන්ට ජනාධිපති පුටුවේ වාඩිවෙන්න බැරි බව දන්න නිසා විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න සහය ලබා දේ යැයි විශ්වාසයක් තිබෙනවා. මොකද දැන් තිබෙන තත්ත්වය අනුව තිබෙන පුටුවත් ඔහුට ෂුවර් නැහැ. මහින්ද රාජපක්ෂත් අවස්ථා තුනකදී අපේක්ෂකයෙකු ලෙසත් 1994දී සහ 2000දී චන්ද්‍රිකාගේ පාර්ශ්වකරුවෙකු ලෙසත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම නියෝජනය කළා. ඒ නිසා ඔහුටත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට විරුද්ධ වෙන්න පුළුවන්කමක් නැහැ. මෛත‍්‍රීපාල සිරිසේන නායකත්වය දෙන කණ්ඩායමටද ඔවුන් රටට දෙන ලද එකඟතාව අනුව විධායක ජනාධිපත් ක‍්‍රමය අහෝසි කිරීමට පක්ෂව කටයුතු කරන්න සිදුවෙනවා.

මේ වන විට ජනාධිපතිවරණයෙන් අවුරුදු තුනක් ගතවී තිබෙනවා. ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් සාකච්ඡා වට ගණනාවක් පැවැත්වී තිබෙනවා. එජාපයට හෝ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට සංශෝධනයක් ගේන්න වුවමනාවක් නැති බව අපිට හොඳටම විශ්වාසයි. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ සූදානම් ජනාධිපති ධුරය අහෝසි කිරීමේ 20වැනි සංශෝධනය පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කරන්න.

එම සංශෝධනය ගෙන එන විට කරුණු තුනක් සැලකිල්ලට ගත යුතු වෙනවා. පළමුවැන්න සංශෝධනය ගෙන එන කාල රාමුව. මේ වන විට විශ්වාසභංගයක් ඉදිරිපත්වීම පිළිබඳව සාකච්ඡාවක් තිබෙනවා. එය කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන එනවානම් එම ක‍්‍රියාවලියෙන් පසුව අපි මෙම සංශෝධනය ගේන්න බලාපොරොත්තු වෙනවා. නමුත් විශ්වාසභංග යෝජනාව මාස ගණනාවක් ඇදෙනවානම් අපි සංශෝධනය කඩිනමින් ගේන්න බලාපොරොත්තු වෙනවා.

දෙවැන්න මෙම සංශෝධනයට ඇතුළත් වන කරුණු සම්බන්ධයෙන් දේශපාලන කඳවුරුවලින් විවිධ විවේචන එල්ල වෙන්න පුළුවන්කම තිබෙනවා. මේ වන විට තිබෙන පළාත් සභාවල යාන්ත‍්‍රණය මධ්‍යගතකරණය කරන ආණ්ඩුකාරවරයා පත්කිරීමේ බලය තිබෙන්නේ විධායක ජනාධිපතිවරයාටයි. ඒ නිසා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමෙන් නැවත රටේ බෙදීමේ තත්ත්වයක් ඇති විය හැකි බවට පරණ බෙරයම ගහන්න ඉඩ තිබෙනවා. ඒ නිසා අපි මෙම සංශෝධනය ආණ්ඩුකාරවරයාගේ බලය වෙනස් නොවන ආකාරයට ඉදිරිපත් කරනවා. ඒ වගේම මේ වන විට පවතින සමානුපාතික මැතිවරණ ක‍්‍රමයත් විධායක ජනාධිපතිවරණ ක‍්‍රමයත් නිවුන් සෙහොයුරන් යැයි මතයක් තිබෙනවා. මොකද සමානුපාතික පාර්ලිමේන්තු මැතිවරණයකින් බිහි වන්නේ දුර්වල ආණඩුවක් බවත් එම දුර්වල ආණ්ඩුව ආරක්ෂා කරන්නේ විධායක ජනාධිපතිවරයා බවටත් මතයක් තිබෙනවා. ඒ නිසා විධායක ජනාධිපත් ධුරය අහෝසි කරන සංශෝධනයකට මැතිවරණ ක‍්‍රමයේ සශෝධනයක් විය යුතු බවට කවුරුන් හෝ යෝජනා කරනවානම් එම සංශෝධන දෙකම ඇතුල් කරන්න අපි සූදානම්.

තුන්වැනි කාරණය වන්නේ සම්මත කරගැනීමේ ක‍්‍රියාවලියයි. මෙම සංශෝධනය සඳහා පාර්ලිමෙන්තුවේ 2/3ක අනුමැතියක් අවශ්‍යයි. ඒ වගේම මේ වන තෙක් පත්වූ නායකයින්ට විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න ජනවරම ලැබී තිබෙනවා. ඒ නිසා ජනතාව ඉදිරියේ දුන් පොරොන්දුවලට පිටුපාන්න නොදී මන්ත‍්‍රී කණ්ඩායම්වල සහය මෙම සංශෝධනය සඳහා ලබා දිය යුතු යැයි අපි විශ්වාස කරනවා. ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය ජනමත විචාරණයක් සඳහා නියෝගයක් ලබා දෙන්නේනම් ජනමත විචාරණයෙන් සම්මත කරගන්න සිදුවෙනවා.

මෙම විධායක ජනාධිපති ධුරය රටටත් ජනතාවටත් ඉතාම අහිතකර එකක්. විටෙක යක්ෂාවේෂයක් ගත්තත් විටෙක පූස් පැටියෙකුගේ ආකාරයක් ගත්තත් සිදුවන දෙය විනාශකාරීයි. තනි පුද්ගලයෙකු අත අත්තනෝමතික බලයක් පැවතිය යුතු නැහැ. අතීතයේ ගෝත‍්‍ර ඇතිවීමේදී ගෝත‍්‍ර නායකයා තමයි, විවාහයන් පිළිබඳව, දඬුවම් පිළිබඳව, ගෝත‍්‍රයෙන් පිටමං කිරීම පිළිබඳව තනි තීරණ ගත්තේ. එවැනි නායකයින් ගෝත‍්‍ර යුගයකට අයත් වුවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය දියුණු වර්තමාන සමාජයේ තිබිය යුත්තේ සාමූහික තීන්දු තීරණ ගැනීමයි. එනිසා ජනාධිපතිවරයා සතු අත්තනෝමතික බලය කැබිනට් මණ්ඩලයට, පාර්ලිමේන්තුවට පවරන්න ඕනෑ. ඇතැම් වගකීම් කොමිසම් සභාවලට පවරන්න පුළුවන්. තනි පුද්ගලයෙකු සතු අත්තනෝමතික බලය, සාමූහික තීන්දු තීරණ ගැනීමේ ශිෂ්ටසම්පන්න සමාජයකට අනුව වෙනස් කළ යුතුව තිබෙනවා.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment