ලොවම දනියි - අප නොදනියි - පැපොල් කොළේ - ඩෙංගු බලේ!

ලොවම දනියි - අප නොදනියි - පැපොල් කොළේ - ඩෙංගු බලේ!

‘‘පැපොල් පත්‍ර යුෂවලින් ඩෙංගු රෝගය සුව වන බව පිළිනොගන්නා සහ මගේ පර්යේෂණ උත්සාහයන් හෑල්ලුවට ලක් කරන ලංකාවේ විශේෂඥයන් මේ කාරණය වටහා ගත යුතුයි. ඔවුන් මා කියන දේ පිළිගන්න අකමැති වෙන්න පුළුවන්. නමුත් මම අහන ප්‍රශ්නය, ලෝක වෛද්‍ය පර්යේෂණ ප්‍රජාව මේ ගැන මෙතරම් උනන්දු ඇයි? උදාහරණයක් විදිහට ඉන්දියාවේ වෛද්‍ය පර්යේෂණ ප්‍රජාව මෝඩයන් නෙවෙයි. ඔවුන් මේ ගැන ඉතාම උනන්දුයි. ඔබ මැලේසියානු වෛද්‍ය පර්යේෂණ ආයතනයේ  IMRS Malaysia වෙබ් අඩවියට ගියොත් පෙනේවි, පැපොල් කොළ යුෂ පිළියෙළ කර ගන්නා ආකාරය පවා ඔවුන් ඉතාම පැහැදිලිව සඳහන් කරල තිබෙනවා. මේ සියල්ල සිදුවුණේ මගේ පර්යේෂණය වෙත ලෝක අවධානය යොමු වීමෙන් පසුවයි.“

පැපොල් පත්‍ර යුෂවල ඩෙංගු නාශක ගුණයේ විද්‍යාත්මක කතාව

එය සත්‍යයකි. ආසියාතික රටවල පමණක් නොව මේ වන විට ඇමරිකානු වෛද්‍යවරුන්ගේ පවා අවධානය පැපොල් කොළ යුෂ වෙත යොමු වී තිබේ. උදාහරණයක් වශයෙන් ෆ්ලොරිඩා සරසවියේ මහාචාර්ය වෑන් ඩැන් (Dr. Nam Dang) ගේ පර්යේෂණවලට අනුව පැපොල් කොළ යුෂවල බලපෑම ඔහු විස්තර කරන්න‍ෙ ‘ඉමියුනෝ මොයෙුලේටරි ඉෆෙක්ට්‘ (Immunomodulatory Effect) හෙවත් ‘ප්‍රතිශක්තිය නියාමන ආචරණය‘ යනුවෙනි.

"What they have proven is the papaya leaves enhance the TH1 type immunity. And it prevents the shift of TH 1 immunity to TH2 type immunity."

මෙම තත්වය සරලව පැහැදිලි කරන්නේ මෙසේ ය. පැපොල් කොළ යුෂවල බලපෑම මගින් සිදුවන්නේ TH1වර්ගයේ ප්‍රතිශක්තිය, TH2 වර්ගයේ ප්‍රතිශක්තිය බවට මාරු වීම වැළැක්වීමයි. එනම්, ඩෙංගු රෝගයේදී ශරීරයේ ස්වභාවිකව තිබෙන ප්‍රතිශක්ති නියාමනයන් අවුල් සහගත වේ. සාමාන්‍ය උණ තත්වයකදී ශරීරය එයට ප්‍රතිචාර දක්වමින් TH1 ප්‍රතිශක්තිය සක්‍රිය වෙයි. එය හිතකර තත්වයකි. නමුත් ඩෙංගු රෝගයේදී සිදුවන්නේ සාමාන්‍ය TH1 ප්‍රතිශක්තිය TH2 බවට මාරු වීමයි. මෙය අතිශයින්ම අහිතකර තත්වයකි. පැපොල් කොළ යුෂවලින් තවදුරටත් එම ප්‍රතිශක්තිය TH1 තත්වයේම තබා ගනියි. එසේ කරන්නේ TH1, TH2 බවට හැරීම වැළැක්වීම මගිනි.

මේ අනුව ඉතා සරලව පවසන්නේ නම් පැපොල් පත්‍ර යුෂ පානය කිරීම මගින් සාමාන්‍ය උණ රෝගයකදී මෙන් ශරීරයේ ප්‍රතිශක්තිය සහ පරිවෘත්තිය රෝගියාට සුවය ලැබීමේ අපේක්ෂාවන් දල්වා තබමින් හිතකර තත්වයේම තබා ගනියි. මේ නිසා රෝගියා සාමාන්‍ය ඩෙංගු තත්වයේ සිට ඩෙංගු රක්තපාත තත්වයට ඇදී යාම වළක්වයි. මේ අනුව පැපොල් පත්‍ර යුෂ මගින් සැබවින්ම සිදුකරන්නේ ඩෙංගු උණ රෝගය, සාමාන්‍ය උණ තත්වයක් දක්වා පරිවෘත්තීය වශයෙන් ඌනනය කිරීමකි. රෝගියා දින කිහිපයක් ඇතුළත සාමාන්‍ය උණ රෝගයක් සුව වනවාක් මෙන් අවදානමෙන් ගොඩ එන්නේ ඒ නිසා ය.

තවද කිව යුත්තක් තිබේ. වෛද්‍ය සනත් හෙට්ටිගේ මහතා කිසිම අවස්ථාවක ඩෙංගු කළමනාකරණය කිරීමේ අනුදත් වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම අත්හැර පැපොල් කොළ යුෂ පානය කරන්න හෝ පැපායා කැප්සියුලය බොන්න කියා කියන්නේ නැත. ඔහු පවසන්නේ ඩෙංගු රෝග තත්වය ඩෙංගු රක්තපාත තත්වය දක්වා වර්ධනය වීම වළක්වා ගැනීමේ ඉතා විශාල ඉඩකඩක්, මුල් අවස්ථාවේදීම පැපොල් පත්‍ර යුෂ පානය කිරීම ඇරඹීමෙන් ලැබෙන බවයි. ඩෙංගු මාරාන්තික වන්නේ ඩෙංගු රක්තපාත තත්වය ට රෝගියා ගොදුරු වීමෙනි.

එසේම පසුගිය ලිපියෙන් අප පෙන්වා දුන් පරිදි පැපොල් පත්‍ර යුෂ හේතුවෙන් සිදුවන්නේ රුධිරයේ පට්ටිකා ප්‍රතිශතය ඉහළ යාම පමණක් නොවේ. සමස්ත රුධිර ධාතුවම, එනම් සුදු රුධිරාණු පවා මෙමගින් ප්‍රශස්ත පරිදි ඉහළ යයි. එය ඔහු මුලින්ම සොයාගත් කාරණයකි. ඒ හැරුණු විට පැපොල් පත්‍ර යුෂවල තිබෙන වෙනත් ගුණාංග අතර පිළිකා නාශක ගුණය පවා වේ.

‘‘මේ සොයාගැනීම් විවේචනය කරන බොහෝ අය එසේ කරන්නේ කිසිම විද්‍යාත්මක පදනමකින් නෙවෙයි. අනෙක් අතට, මා කියන කරුණු මේ වන විට ලෝකයේ මා කළ පර්යේෂණවලින් වගේම ලෝකයේ වෙනත් රටවල් ගණනාවක් විසින් ස්වාධීනව සිදුකළ විද්‍යාත්මක පර්යේෂණවලිනුත් තහවුරු කර තිබෙනවා.“

වෛද්‍ය සනත් හෙට්ටිගේ මහතා විවේචනයන්ට උපේක්ෂාවෙන් යුතුව මුහුණ දෙයි. ඔහු සිය නිෂ්පාදනය වන පැපායා කැප්සියුලය ‘මාකට්‘ කිරීමට පවා විශේෂ වෙහෙසක් ගන්නේ නැත. ‘‘මේ ගැන දන්නා වෛද්‍යවරුන් ඩෙංගු රෝගීන්ට පැපායා කැප්සියුලය නිර්දේශ කරනවා. කැප්සියුලය ගන්න බැරි අයට අපි කියන්නෙ, පැපොල් පත්‍රවල යුෂ පානය කරන්න කියලයි. එසේ පානය කළ  යුතු මාත්‍රාව ද අපි පසුගිය ලිපියේ සඳහන් කළෙමු.

‘‘පැපොල් කොළ යුෂ පානය කිරීමෙන් පසුව ඩෙංගු රෝගීන් මිය ගිය අවස්ථා ඇත්තේම නැත්ද?“ අපි ඇසුවෙමු.

‘‘ඉහළ පට්ටිකා ප්‍රමාණයක් තිබියදී ඩෙංගු රෝගයෙන් මිය ගිය රෝගීන් ගැන ඉතාම කලාතුරකින් වාර්තා වෙනවා. ඒ ගැනත් මගේ පර්යේෂණවලදී අවධානය යොමු කර තිබෙනවා. මා සතුව තිබෙන දත්තවලට අනුව ඩෙංගු රෝගයෙන් මිය ගිය රෝගීන්ගෙන් අති බහුතරය පැපොල් පත්‍ර යුෂ පානය කළ අය නෙවෙයි. එහෙමත් නැතිනම්, පැපොල් පත්‍ර යුෂ දිනක් දෙකක් පානය කර හදිසියේම නතර කර දැමූ අයයි. ඉදිරියේදී මේ කාරණය තවදුරටත් සනාථ කරගන්නට මම බලාපොරොත්තු වෙනවා.“

ඩෙංගු රෝගීන්ට ස්වර්ණමය අවවාදයක්

‘‘රෝගීන්ට මම දෙන ස්වර්ණමය අවවාදය තමයි, ඔබ පැපොල් පත්‍ර යුෂ ගැනීම ආරම්භ කළා නම් ඒක අතරමගදී නතර කර දමන්නට එපා!..

ඩෙංගු නිවාරණයට නැවුම් අදහස්

වෛද්‍ය සනත් හෙට්ටිගේ මහතා විද්‍යාගාර පර්යේෂණාගාරවල සිරවී සිටින පටු චරිතයක් නොවේ. ඔහු සිය බටහිර විද්‍යාත්මක පර්යේෂණ එසේ කරගෙන යන අතරවාරයේම ඩෙංගු පැරදවීම සඳහා රටේ පරිසරය කෙසේ වෙනස් විය යුතුද යන්න පිළිබඳව ද සිතයි.

“ඩෙංගු වසංගත කාලවලදී ඒ අදාළ ප්‍රදේශවල පාසල් ළමුන්ගේ නිල ඇඳුම වෙනස් කරන්න කියල මම කිව්වා. කිසිම වියදමක් යන්නෙ නෑ. යටට දික් කලිසමක් අන්දන්න කියලා. අම්මල කැමැත්තෙන්ම ඒක කරාවි. දැනටත් කකුල්වල බෙහෙත් ගාලනෙ යවන්නෙ. සියේට සීයක් මේක පැතිරීම වළක්වන්න බැරිවුණත් මේ වගේ දේවල්වලින් ඩෙංගු පැතිරීම සෑහෙන දුරකට අඩු කරගන්න පුළුවන් වෙනවා. මේ අදහස මම මුලින්ම කිව්වෙ 2014 දි.”

2014 වසරේදී වෛද්‍ය සනත් හෙට්ටිගේ මහතා මේ අදහස ඩෙංගු ජාතික උපදේශකත්ව සභාවේ සිටි අවධියේ සභා රැස්වීමකදී ප්‍රකාශ කළේය. එවිට සියල්ලෝම ඔහුට සිනාසුණහ. ඒ මේ රටේ හැටි ය.

අනතුරුව 2014 වසරේදී ලංකාවේ ජාත්‍යන්තර ඩෙංගු සමුළුවක් පැවැත්විණි. එහිදී ලෝකයේ ප්‍රකට ඩෙංගු විශේෂඥයෙකු හෙළි කර සිටියේ පාසල් නිල ඇඳුමට මදුරු නාශක රසායනයක් ගැල්වීමෙන් අනතුරුව පාසල් දරුවන් අතර ඩෙංගු රෝග ව්‍යාප්තිය බෙහෙවින් අඩු වූ බව ය. නමුත් මද කලකින් පසු සේදීමේදී ඉවත්වන නිසා මේ ක්‍රමයේ සාර්ථකත්වය ක්‍රමයෙන් අඩුවූ බව ද සමුළුවේදී සඳහන් විණි. එහි බලපෑම අඩු වන විට සාමාන්‍ය පරිදිම ඩෙංගු රෝගය නැවත ව්‍යාප්ත විය.

“ඔය තරමට කරදර වෙන්න ඕනෙ නෑ නේද, යටට කලිසමක් ඇන්දුවනම් හරි නේද?” එම සමුළුවේදී ද වෛද්‍ය සනත් හෙට්ටිගේ මහතා පැවසුවේය. “ඔව්. අපේ සංකීර්ණ විසඳුමට වඩා ඔබගේ සරල විසඳුම ප්‍රායෝගිකයි” එම ජාත්‍යන්තර සමුළුවේ සිටි ඩෙංගු විශේෂඥයන්ගේ සහ පර්යේෂකයන්ගේ ප්‍රශංසාව ඔහු වෙත හිමි විය.

මේ අතර මෙම යෝජනාව එවකට බලධාරීන් වෙත ඉදිරිපත් කළ විට නීතිය හා සාමය අමාත්‍යාංශය විසින් එයට පිළිතුරු ලිපියක් එවමින් සඳහන් කළේ දෙමාපියන් කැමති නම්, කැමති අයට දරුවන් ව මේ අන්දමින් පාසල් යැවිය හැකි බව ය. වෛද්‍ය සනත් හෙට්ටියේ මෙම ලිපියේ පිටපත් ද සමගින්, මෙම නව ක්‍රමවේදය අනුගමනය කිරීම ඩෙංගු වසංගත තත්වය අඩුවීමට හේතුවේ යැයි පුද්ගලිකව එම පාසල්වලට දන්වා යැවීය.

“ඒක ක්‍රියාවට නැංවුවාද?”

“මම දැනුවත්ව සමහර පාසල්වල දැන්වීම් පුවරුවල මව්වරුන්ට අවශ්‍ය නම් ඒ විදිහට දරුවන්ට අන්දලා එවන්න පුළුවන් බවට දැන්වීම පළ කර තිබුණා. නමුත් මං හිතන්නෙ, කිසිම දැනුවත් කිරීමකින් තොරව සිදුවුණු දෙයක් නිසා ඒක සාර්ථක වුණේ නෑ”

මෙවැනි දේවල් සිදුවිය යුත්තේ දීප ව්‍යාප්ත දැනුවත් කිරීමේ වැඩසටහන් ද සමග ය. නමුත් රටේ අවසානාවට මෙවැනි සරල දේ සඳහා පවා බලධාරීන්ගේ අවධානය යොමු වන්නේ නැත.

“ඒ වගේ අපි, සාමාන්‍ය විසඳුම්වලින් ඔබ්බට ගිහින් අලුත් දේවල් කරන්න හැදුවා..” යැයි වෛද්‍ය සනත් හෙට්ටිගේ පවසයි. “අපි කොයි තරම් වටපිටාව සුද්ද කරන්න කිව්වත් ඒකෙන් පලක් නැහැ. නමුත් ජනෙල්වලට පොඩි දැළක් ගහල සීල් කළා නම් ඒ ගැටළුව විසඳෙනවා. අපි ඒ දේවල් ජාතික මට්ටමින් කරන්න ඕනෙ..”

ගැටළුව තිබෙන්නේ එතැන ය. පුද්ගලික මට්ටමෙන් හෝ කණ්ඩායම් මට්ටමින් දෙයක් කරනවාට වඩා ජාතික ප්‍රතිපත්ති වශයෙන් මෙවැනි අදහස් ක්‍රියාවට නැංවීම අත්‍යාවශ්‍ය දෙයකි. ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත, ප්‍රායෝගික විසඳුම් ඉදිරිපත් කරන විශේෂඥයන් ලංකාවේ සිටියදීත්, ජාතික ඩෙංගු නිවාරණ වැඩසටහන්වලදී මෙවැනි අයගේ සොයාගැනීමක් තබා නමක්වත් නොකියවෙන තරම් ය.

වැහි පීලි රහිත නිවාස

ගටර්ස් එසේත් නැතිනම් වැහි පිහිලි සහ කාණුවල ජලය බැස යාම සම්බන්ධයෙන් ඩෙංගු රෝගයට අදාළ ව වෛද්‍ය සනත් හෙට්ටිගේ මහතා මුල්ම සඳහන කරන්නේ 1986 වසරේදී ය. ඒ, ඩෙංගු රෝගියෙක් ලංකාවෙන් වාර්තා වූ මුල්ම වර්ෂයයි. “අපි වැහි පිහිලි නැති නිවාස සහිත සංස්කෘතියක් ඉදිරියේදී බිහි කළ යුතුයි” යැයි එවකට ලංකාවට පැමිණ සිටි සිංගප්පූරු විශේෂඥයන් අමතා ඔහු සඳහන් කළේය. එවිට සිංගප්පූරු ජාතිකයෝ ද ඔහුට සිනාසුණහ. “එහෙනම් ගස් බෙණවල තියෙන වතුර ගැනත් හිතන්න වෙයි නේද?” ඇතැමෙක් ඇසුවේ සෝපහාසයෙනි. නමුත් අද වන විට සිංගප්පූරුව, වෛද්‍ය සනත් හෙට්ටිගේ මහතා යෝජනා කළ එම ක්‍රමවේදය සිය නිවාස සැලසුම් ව්‍යාපෘතිවලට සහමුලින්ම යොදාගෙන තිබේ. මේ වන විට සිංගප්පූරුවේ වැහි පීලි සහිත නිවාස සැලසුම් සාමාන්‍ය තත්ව යටතේ අනුමත කරන්නේ නැත. වැහි පීලි සහිත නිවාස ඉදි කළ යුතුම නම්, ඒ සඳහා හේතු සාධාරණීකරණය කර දක්වමින් විශේෂ අයදුම්පතක් යොමු කළ යුතුය.

දිය බැස යන කාණු කෙසේ සකස් කළ යුතුද?

පාරෙ වතුර බැහැගෙන යන කාණු සුද්ද කරන්න නරකයි. කාණු සුද්ද කළාම තමයි ඩෙංගු මදුරුවන් බෝවෙන්නෙ.” වෛද්‍ය සනත් හෙට්ටිගේ මහතා පවසයි. මෙය බැලූ බැල්මට මුහුණට මුහුණ බලාගත යුතු කතාවක් සේ පෙනේ. නමුත් ඔහු එය මෙසේ පැහැදිලි කරයි.

“කාණු සුද්ද නොකර තිබ්බාම ඒකෙ නියම විදියට පඳුරු ආදිය වැවිලා යට පස් තට්ටුවක් ඇති වෙනවා. ජලය රඳන කුඩා ‘වතුර පොකට්ස්‘ ඇති වෙන්නෙ නෑ. එතකොට ගානට වතුර ගලාගෙන යනවා..”

“නමුත් කාණු සුද්ද කිරීම නතර කළොත් කාණුවල අපද්‍රව්‍ය පිරිලා ජලාපවාහන පද්ධතියම අවුල් සහගත වෙනවා නේද?” යැයි අපි ඇසුවෙමු. ඔහු ඒ සඳහා ලබාදුන් පිළිතුර වූයේ මෙයයි.

“නැහැ. මම මේකෙන් අදහස් කරන්නෙ, කාණු සුද්ද කරන්න එපා කියලා, කාණුවල තියෙන කුණු රොඩු සුද්ද කරන්න එපා කියන එක නෙවෙයි. කාණුවල කුණු රොඩු පමණක් සුද්ද කළ යුතුයි කියන එකයි. අපේ මිනිස්සු කරන්නෙ, ශ්‍රමදාන දාලා කාණුවල තියෙන පස් එක්ක ඒවා සම්පූර්ණයෙන්ම සුද්ද කරනවා. ඊට පස්සෙ වතුර පොකට්ස් හැදෙනවා. ඒවයෙ ඩෙංගු මදුරුවා බිත්තර දානවා.. මේ විදිහට කානු සුද්ද කරනවා නම් එක වතුර බිංදුවක් වත් නැතිවෙන්න ඒවා සුද්ද කරන්න වෙනවා.”

ඩෙංගු නිවාරණ සතියක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු නිවාරණ ඒකකය විසින් දීප ව්‍යාප්තව ක්‍රියාවට නැංවූයේ පසුගිය අප්‍රේල් මාසයේ ය. එහිදී ද අවධාරණය කළ කරුණක් වූයේ අවට පරිසරය සහ දිය බැස යන කාණු පිරිසිදුව තබාගත යුතු බවයි. වෛද්‍ය සනත් හෙට්ටිගේ මහතා පෙන්වා දෙන පරිදි එහි අර්ථය නිසි පරිදි ග්‍රහණය කර නොගෙන හුදෙක් ජනතාව දිය බැස යන කාණු පිරිසිදු කිරීම මගින් සිදුවන්නේ ඩෙංගු මදුරුවාට බිත්තර තවාන් සැපයීම නොවේද?

“කාණු පද්ධති සකස් කළ යුත්තේ ස්වභාවිකව ඒවායේ වතුර බැස යන්නට පුළුවන් වන විදිහටයි. එතකොට ජලය රැඳෙන්නේ නැහැ.. එහෙම නැතිව කානු පද්ධති සුද්ද කිරීමෙන් සිද්ධ වෙන්නේ ස්වාභාවික ලෙස ජලය ගලා යාමේ යාන්ත්‍රණයට අපි බාධා කරන එකයි. මේ වගේ පහසුවෙන් ක්‍රියාවට නැංවිය හැකි සරල දේවල් අපි අතර තිබෙනවා. අපි ඒ ගැන හිතන්නට ඕනෙ...”

“දැන් සිංගප්පූරුවේ තියෙන්නෙ වෙනස් ක්‍රමයක්. ඔවුන්ගෙ උඩ කාණු පද්ධතිය තිබුණට යට තියෙනවා, එයටම සම්බන්ධිත ටියුබ් එකක්. එතකොට මතුපිටට වතුර වැටුණාම වතුර ටික විතරක් පෙරිලා ඒක යට තියෙන ටියුබ් නාලයට එකතු වෙලා ගලාගෙන යනවා. කුණු රොඩු තියෙනව නම් ඒවා මතුපිට කාණුවේ රැඳෙනවා. උඩ කාණු පද්ධතියෙ වතුර රැඳෙන්නෙ නෑ. සිංගප්පූරුවෙ කාණු සුද්ද කරනව කියල කරන්නෙ අර මම කලින් කිව්ව විදිහට කුණු රොඩු සුද්ද කිරීම. මදුරුවන්ට යට නාලයේ තිබෙන උෂ්ණත්වය ආදිය නිසා එහි බිත්තර දමන්නට අවකාශයක් නැහැ.

ඒ වගේම අපේ රටේ ගත්තොත් එක කාණු පද්ධතියයි තියෙන්නෙ. ඒ විතරක් නෙවෙයි, ගෙවල්වලින් කෙළින්ම ජලය බැහැර වෙන්නෙත් ප්‍රධාන කාණු පද්ධතියට. නිවාසවලින් එන කාණු පද්ධතිවල සුද්ද කරන්නට බැරි කොටස් තියෙන්නට පුළුවන්. අපේ රටේ ඩෙංගු මර්දනය අසාර්ථක වෙන්නට ප්‍රධානම හේතුවක් බවට මේ තත්වය පත්වෙලා තියෙනවා. ඒ නිසා අපේ රටට ගොඩක්ම ගැළපෙන්නෙ ස්වභාවිකව ජලය බැස යන්නට ඉඩ දෙන ජලාපවාහන පද්ධතියක්.”

එය නගර සැලසුම් නිර්මාණ අංශය, නගර සභා, ප්‍රාදේශීය සභා ආදී සියල්ල සම්බන්ධ කරගෙන සිදුකළ යුතු දීර්ඝකාලීන වැඩපිළිවෙළකි. සාමාන්‍යයෙන් මේ රටේ දශක කිහිපයක් ඉදිරියට සිතා බලා සිදුකරන සංවර්ධන කටයුතු දැකගත නොහැකි තරම් ය.

ගොඩක් අයට කියන දේවල් තේරෙන්නෙ නෑ!

“මම මේ දේවල් කිව්වට ගොඩක් අයට මම කියන දේ තේරෙන්නෙ නෑ. ඔවුන් හිතන්නෙ අනෙක් පැත්තට. උදාහරණයක් විදිහට අම්මලාට අපිට කියන්න පුළුවන් නම්, තමන්ගෙ දරුවන් එළිමහනට යන විට ඔවුන්ට ඩෙංගු වසංගත තත්වයක් රටේ තියෙන අවස්ථාවලදී සපත්තු මේස් දාලා, දිගට අන්දලා යවන්න කියලා, නිවාස ඇතුළට මදුරුවන්ට එන්න බැරිවෙන විදිහට පුංචි දැල් ගහන්න කියලා, ඩෙංගු විශාල වශයෙන් පාලනය කරගන්න පුළුවන්. අඩුම ගානෙ ජනගහනයෙන් 20% ක් මේ දේ කළා නම් ඩෙංගු වසංගතය තුරන් වන තත්වයට ගේන්න පුළුවන්.

මෙතන සමස්ත ක්‍රමයේ තිබෙන තවත් ප්‍රශ්නයක් තමයි, අපි සුහුඹුල් මදුරුවන්ව ඉලක්ක කරන්නෙ නෑ. අපි හැමතිස්සෙම හදන්නෙ මදුරු කීටයන් මර්දනය කරන්න. මදුරු කීටයන් මර්දනය කිරීම ඉතාම දුෂ්කර දෙයක්. අපි සුහුඹුල් මදුරුවන්ව පාලනය කරන්නත් ක්‍රම හොයාගන්න ඕනෙ. ඒ කියන්නෙ මදුරුවන් දෂ්ට කිරීම වළක්වගන්න අපි ක්‍රම හොයාගන්න ඕනෙ..”

“මේ අතරෙ ඩෙංගුවලට ප්‍රතිකාර කරන අයගෙ අවධානය යොමු වෙලා තියෙන්නෙ රෝගය වැළඳුණාට පස්සෙ ඒක සුව කිරීම ගැන විතරයි. ඇත්තටම පාසල් නිල ඇඳුමයි, හැම ගෙදරකටම මදුරුවන් එන එක නතර කරන්න කුඩා දැළ ගැසීමයි කළා නම් මේ වසංගතය සෑහෙන දුරකට පාලනය වෙනවා...”

අප කොතැනද?

ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු මර්දන ඒකකය තවමත් නිදිබර ගතියෙන් පසුවෙද්දී වසංගත රෝග විද්‍යා ඒකකය හෙළිකරන අලුත්ම දත්තවලට අනුව මේ වසරේ මුල් මාස 4 තුළ පමණක් ඩෙංගු රෝගීන් 17,028 ක් වාර්තා වී තිබේ. එයින් 30%ක්ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. (https://ift.tt/2rmr5B0)

මේ අතර ලෝකයේම ඩෙංගු ප්‍රමුඛ මදුරු උවදුර ගතවූ වසර 13 ක කාලය තුළ 250% කින් ඉහළ ගොස් ඇති බව ද වාර්තා වේ. (කියවන්න, https://sinhala.lankanewsweb.net/news/item/14668-250) ඩෙංගු මර්දන ඒකකය පසුගියදා නිකුත් කළ ඩෙංගු නිවාරණ සතියේදී පාසල් සඳහා මුද්‍රණය කළ ඩෙංගු පෝස්ටරයේ 4 වැනි කරුණ වශයෙන් මෙසේ දැක්වේ. ‘‘මදුරුවන් දෂ්ට කිරීම වැළැක්වීමට දිවා කාලයේ මදුරු විකර්ෂකයක් භාවිතා කරන්න“. මේ අතර NHS හෙවත් බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය ඉතා පැහැදිලිව මෙසේ පවසයි.

‘‘මදුරුවන් පළවා හරින ක්‍රම, රෝගය වළක්වා ගත හැකි ක්‍රම වශයෙන් තවදුරටත් අපට නිර්දේශ කළ නොහැක!“

ඉතින් අප සිටින්නේ කොතැනකද? අප මේ කරන්නේ කුමක්ද? වෛද්‍ය සනත් හෙට්ටිගේ වැනි ලක් පුතුන්ගෙන් අප වැඩක් නොගන්නේ ඇයි? මේ ලංකාවේ ඩෙංගු මර්දන ප්‍රතිපත්තිය (එවැන්නක් බැරිවීමකින් හෝ තිබේ නම්!) වහාම නව සොයාගැනීම්වලට අනුව නවීකරණය විය යුතු කාලයයි.

වෛද්‍ය සනත් හෙට්ටිගේ ජාතික ඩෙංගු නිවාරණ උපදේශන සභාවේ ද සාමාජිකයෙකි. නමුත් පසුගිය ලිපියෙන් අප හෙළිකළ අන්දමට ඔහුගේ උපදෙස් ලබාගැනීමට ඔවුන් සූදානම් නැත. ඔවුන්ගෙන් අප කරන කාරුණික ඉල්ලීම වන්නේ මෙම ලිපියේ අගභාගයේ පළ කර තිබෙන වෛද්‍ය හෙට්ටිගේ මහතාගේ සොයාගැනීමට අදාළ පර්යේෂණ සබැඳි කියවා බලන ලෙස ය. 

සෞඛ්‍ය අමාත්‍යාංශය නිලධාරිවාදය ඔඩු දිවූ තැනක් බව පසුගිය මැයි 1 වැනිදා කියාසිටියේ සෞඛ්‍ය අමාත්‍යවරයාම ය. ලංකාව නිලධාරිවාදය ඔඩු දුවන රටකි. නමුත් නිලධාරීන් කාට ඉහළින් සිටියත්,  ජනතාවට පහළින් සිටිය යුතුය. එසේ නොවන තාක් කාලයකට සිදුවන්නේ වෛද්‍ය සනත් හෙට්ටිගේ වැනි ලොව පිළිගත් චරිත, උපන් රටට ආගන්තුකයන් වීම ය. මේ පොළොවේ ඉපිද, මේ පොළොවේ ජනතාවට ලබාදෙන්නට දායාද අතැතිව පවා ඔවුන්ට අද නිරුත්තරව බලා සිටින්නට සිදුව තිබේ.

සංවාද සටහන- රදිකා ගුණරත්න
ඡායාරූප - අජිත් සෙනෙවිරත්න

පෙර ලිපිය: 
ලොවට අගේ ඇති -අපට අගේ නැති ‘පැපොල් කොළ යුෂ ඩොක්ටර්’

 

පර්යේෂණ සබැඳි:

Research studies – Dr. S. Hettige

http://cgpsl.org/wp-content/uploads/2013/11/119.pdf

http://cgpsl.org/wp-content/uploads/2018/01/SLFP-October-2017-PDF1.pdf

Guidelines in using Carica papaya leaf extract for dengue fever patients

http://www.bmj.com/content/351/bmj.h4661/rr-4

WHO

http://apps.who.int/trialsearch/Trial2.aspx?TrialID=CTRI/2015/05/005806

http://apps.who.int/trialsearch/Trial2.aspx?TrialID=SLCTR/2013/005

Sri Lanka Clinical Trials Registry

http://trials.slctr.lk/trials/110

Sri Lanka Inventors Commission

http://slic.gov.lk/en/component/inventor/?view=profile&id=1821

WONCA

https://ift.tt/2KAVncg

Ministry studies - Extensive research on papaya leaf juice

http://www.freemalaysiatoday.com/category/nation/2014/08/19/extensive-research-on-papaya-leaf-juice/

http://www.freemalaysiatoday.com/category/nation/2015/05/16/ministry-studies-papaya-leaves-to-treat-dengue/

Dengue: Health Ministry looking into producing papaya leaf extract capsules – Dr. Hilmi

http://english.astroawani.com/malaysia-news/dengue-health-ministry-looking-producing-papaya-leaf-extract-capsules-dr-hilmi-60124

IMPA newsletter 2016.03

http://www.imr.gov.my/en/highlights-featured-articles/2245-carica-papaya-extract-for-dengue-treatment.html

Rise of platelet counts

http://www.bmj.com/rapid-response/2011/11/03/papaya-leaves-speedy-rise-platelet-count-dengue

https://www.hindawi.com/journals/ecam/2013/616737/

http://www.openaccessscience.com/pdf-files/vol2_4_dec2012/IJMAP_2_4_4_Carica_papaya.pdf

Anti-tumor activity and immune-modulatory effects

file:///D:/Research/Rsearch%20Papers/papaya-name%20dang.pdf

Acute toxicity study

http://www.researchgate.net/publication/230859605_Acute_toxicity_study_of_Carica_papaya_leaf_extract_in

Thrombocyte count

https://www.researchgate.net/publication/284987036_Thrombocyte_counts_in_mice_after_the_administration_of_papaya_leaf_suspension

http://www.japi.org/june_2016/01_Editorial_role_of_carica.pdf

http://www.japi.org/june_2016/02_oa_a_multi_centric_double.pdf

 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment