සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිළධාරිවාදයට එරෙහිව සුව ඇමැති සටනක් අරඹයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිළධාරිවාදයට එරෙහිව සුව ඇමැති සටනක් අරඹයි
එම සමුළුව පැවැත්වුනේ කොළඹ ජයවර්ධනපුර කේන්ද්‍රයේදීය. මෙහිදී මෙම සමුළුවට යෝජනා 07 ක් ඉදිරිපත් කළ අතර, එම යෝජනා ඒකමතිකව සම්මත විය.
 
තමන් සෞඛ්‍ය අමාත්‍යධූරයේ වැඩ ආරම්භ කළ දිනයේ සිට වෘත්තීය සමිති සමග යහපත් සබඳතා පැවැත්වූ බවත් ඔවුන්ගේ ඉල්ලීම්වලට සාධාරණය ප්‍රතිචාර ලබා දී තිබෙන බවත් ඇමතිවරයා සඳහන් කළේය. කෙසේ වෙතත් රාජ්‍ය ආයතනවල පවතින උග්‍ර නිළධාරිවාදය හේතුවෙන් ඇතැම් තීරණ ක්‍රියාත්මක නොවූ බවයි සේනාරත්න මහතා පවසන්නේ. මෙම නිළධාරිවාදය සෞඛ්‍ය සේවාවේ ප්‍රගතියට බාධාවක් බැවින් ඉදිරියේදී ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු සඳහන් කළේය.
 
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
 
'ලෝක කම්කරු දිනය මැයි මස 01 දිනට යෙදුනාට වෙනත් රටවල වෙනත් මාස වල ද සමරනු ලබනවා. සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති නායකයෙක් ලෙස මම 1975 වසරේ සිට වෘත්තීය සමිති අරගල වල නිරත වුනා. පසුගිය කාලයේ සයිටම් විරෝධී සටනටවත් සියලුම වෘත්තීය සමිති එකම ස්ථානයකට ඒකරාශී කර ගැනීමට නොහැකි වුනා. නමුත් අද දින සෞඛ්‍ය සේවාවේ සියලුම වෘත්තීය සමිති ඒකාබද්ධව මැයි දින සමුළුවක් පැවැත්වීම සතුටට කරුණක්. විවිධ දේශපාලන අදහස් තිබුනත් කම්කරු අයිතීන් දිනා ගැනීම සදහා මොවුන් ඒකරාශී වී සිටිනවා.'
 
'එක තැන පල් වූ නිළධාරිවාදයක් තිබෙන්නේ. එය සෞඛ්‍ය සේවාවේ ප්‍රගතිශීලී ගමනට බාධාවක්. ඇතැම් නිලධාරීන් පරපෝෂිතයෝ වගේ ඉන්නේ. සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනයට දක්වන දායකත්වය අවමයි. මම වෘත්තීය සමිති සමග සාකච්ඡා කර තීන්දු තීරණ ලබාගන්නවා. එම තීරණ සම්බන්ධයෙන් මම රජයට වග කියනවා. ඒවා ක්‍රියාත්මක කිරීමේ දී කාටවත් ප්‍රශ්ණයක් ඇති වන්නේ නැහැ මම වගකීම බාර ගන්න නිසා. නමුත් තීන්දු ක්‍රියාත්මක කිරීම සිදු වන්නේ සෙමින්. කිසියම් තීන්දුවක් ගත් පසු වෘත්තීය සමිති නායකයින් නිලධාරීන්ගේ පිටුපසට වී කරදර කරලා ඉල්ලීම් දිනා ගත යුතුයි. සමහර අමාත්‍යාංශවල අමාත්‍යවරු තීන්දු තීරණ ගන්න බයයි. නමුත් අපි නිලධාරීවාදය පරාජය කළ යුතුයි.'
 
'සෞඛ්‍ය සේවාවේ උසස්වීම් කුසලතාවය මත ලබාදිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. නියමු කුසලතා ඇති පුද්ගලයින් නිලධාරීන් ලෙස පවා පත්වන්නේ නැහැ. ඡ්‍යෙෂ්ඨත්වය මත තමයි පත් වන්නේ. කුසලතාවය අනුව උසස්වීම් ලබාදිය යුතුයි. සෞඛ්‍ය සේවාවේ සියලුම සේවකයින්ට නිසි පුහුණුවක් සහ පුහුණු සහතිකයක් ලබාදිය යුතුයි. එය ඔබලා ඉදිරිපත් කළ තවත් ඉල්ලීමක්. එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සදහා සැළසුම් ඉදිරිපත් කරන්න.'
 
'සෞඛ්‍ය සේවාව සංවෘත සේවාවක් බවට පත් කිරීමට තීන්දු කර අවසන්. අමාත්‍ය මණ්ඩල තීන්දුව ලබාගත්තත් තීන්දුව ක්‍රියාත්මක කිරීමේ දී නිලධාරීන් බඩ ගාගෙන යනවා. සංවෘත සේවාවක් බවට පත් කිරීමට නිලධාරින් කැමැති නැහැ. සම්ප්‍රදායික විදිහට හිතනවා. හණමිටි අදහස් තමයි තිබෙන්නේ. නවීන ක්‍රමයට සිතන නිලධාරින් ඉන්නේ සුලු පිරිසක්. සෞඛ්‍ය කළමණාකරණ සේවාව සංවෘත සේවාවක් බවට පත් කිරීමට තීරණය කළේ 2015 වසරේ දී. නමුත් තවම විභාගය පවත්වා නැහැ.  අමාත්‍ය මණ්ඩල තීරණය ගත්තත් එය ක්‍රියාත්මක කිරීමට ප්‍රමාද වී තිබෙනවා. දින 180 සම්පුර්ණ වූ සෞඛ්‍ය සේවකයින් ස්ථිර කිරීම ප්‍රතිපත්තියක් ලෙස පිළිගන්නවා. මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමේ දී සමස්ත රාජ්‍ය සේවාවටම බලපානවා. එම නිසා රජය සමග සාකච්ඡා කළ යතුයි. යහපාලන රජය මොනව ද කළේ කියලා අහනවා. ලබාදුන් පොරොන්දු රැසක් මේ වන විට ඉටු කර තිබෙනවා. සෞඛ්‍ය පරිපාලන සේවාවත් ඉතා වැදගත්. වෛද්‍ය පරිපාලන සේවාව දැන් ක්‍රියාත්මකයි. සාමාන්‍ය පරිපාලකයින්ට සෞඛ්‍ය පරිපාලනය තේරෙන්නේ නැහැ. විශ්‍රාම වැටුප්, වැන්දඹු අනත්දරු අරමුදල් නතර කර ඇති බවට චෝදනා නගනවා. නමුත් රජය විසින් දායක විශ්‍රාම වැටුපක් හදුන්වා දී තිබෙනවා. එම යෝජනාව පළමු වරට ඉදිරිපත් කළේ ආචාර්ය එන්.එම්. පෙරේරා මහතා. ඒ 1972 වසරේදී.'
 
මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති නායකයින් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.
 
rajitha 76
rajitha 77
rajitha 78
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment